Home Science News අද රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණය මඟ නොහැර බලන්න

අද රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණය මඟ නොහැර බලන්න

by Sathya

නැගෙනහිර අර්ධගෝලයේ වාසය කරන්නන් හට අද (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගැනීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් මෙන් ම යුරෝපයේ සහ අප්‍රිකාවේ ඇතැම් රටවල්, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවලට මෙය දර්ශනය වනවා.

අද රාත්‍රී 8.58ට පමණ චන්ද්‍රග්‍රහණයේ ආරම්භය සිදුවන අතර කෙමෙන් සඳෙහි දීප්තිය අඩු වී යනු ඇති. රාත්‍රී 9.57ත් රාත්‍රී 11.01ත් අතර කාලය තුළ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගත හැකි වන අතර, අනතුරු ව පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව එළැඹීමට නියමිතයි. චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 11.42ට පමණ උදාවනු ඇති. ඒ මොහොත වන විට චන්ද්‍රයා තද රතු පැහැයකින් දැකබලාගැනීමට හැකියාව ලැබෙනවා. හෙට අලුයම 12.22ට පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව නිමාවට පත් වන අතර යළිත් කෙමෙන් අර්ධ ග්‍රහණයක් බවට පත් වී පෙරවරු 2.25 වන විට පෘථිවියේ උපඡායාව මුළුමනින් ම සඳෙන් ඉවත් වී ගොස් චන්ද්‍රග්‍රහණයේ අවසානය සනිටුහන් වනවා.

මින් පෙර අවසන් වතාවට ශ්‍රී ලංකා වාසීන් හට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දිස් වූයේ අදින් වසර 7කට පෙර 2018 වසරේ දීයි. අද රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණයට පසු නැවත වරක් මෙවැනි සංසිද්ධියක් ශ්‍රී ලංකාවේ සිට දැකිය හැකි වන්නේ 2028 දෙසැම්බර් 31 වැනි දිනයි. කෙසේ වෙතත් එය මෙතරම් දීර්ඝ කාලක් පවතින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වන්නේ නැහැ. අද රාත්‍රියේ හටගන්නා පූර්ණ චන්ද්‍රග්‍රහණයේ පූර්ණ අවස්ථාව විනාඩි 81ක් පමණ දීර්ඝ කාලයක් පුරා පවතින අතර මෙතරම් දිගු පූර්ණ අවස්ථාවක් නැවත දැකගත හැකි වන්නේ 2040 නොවැම්බර් 18 වැනි දිනයි.

ග්‍රහණ කාලය තුළ සඳ රක්ත පැහැයෙන් දිස්වන්නේ පෘථිවි වායුගෝලයේ පවතින දූෂ්‍යකාරක සහ දුහුවිලි අංශු හේතුවෙන්. එබැවින් මේ මොහොතේ රතු පැහැ ගන්නා චන්ද්‍රයා blood moon හෙවත් ‘රුහිරු සඳ’ යනුවෙන් ද හැඳින්වෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications