Home Science News අඟහරුගේ ජීවය පිළිබඳ මෙතෙක් සිදු වූ වැදගත් ම සොයාගැනීම

අඟහරුගේ ජීවය පිළිබඳ මෙතෙක් සිදු වූ වැදගත් ම සොයාගැනීම

by Sathya

NASA ආයතනය විසින් අඟහරු ගවේෂණයට යවා ඇති පර්සවරන්ස් රෝවරය විසින් එකතුකරගනු ලැබූ පාෂාණ සාම්පලයක අතීත අඟහරුගේ ක්ෂුද්‍රජීවීන් විසූ බවට සාධක කැටිවී තිබිය හැකි බව පෙරේදා (10) දිනයේ Nature ජර්නලයේ ප්‍රකාශයට පත් අධ්‍යයන වාර්තාවක දැක්වෙනවා. ඉකුත් වසරේ රෝවරය මඟින් මේ පාෂාණ සාම්පලය ලබාගැනුණේ ජෙසරෝ ආවාටයේ වියළී ගිය ගංගා පත්ලක පිහිටි Cheyava Falls නමින් හඳුන්වනු ලබන පාෂාණයකින්. මෙලෙස ලබාගැනුණු සාම්පලය ‘සැෆයර් කැනියන්’ (Sapphire Canyon) ලෙස හැඳින්වෙන අතර, විද්‍යාඥයන් පවසන පරිදි ජීවයක ජෛව සලකුණු (biosignatures) විය හැකි ලක්ෂණ එහි අන්තර්ගත ව තිබෙනවා.

‘ජෛව සලකුණු වීමේ විභවය සහිත’ යනුවෙන් හැඳින්වෙන්නේ යම් දෙයක් හෝ ව්‍යුහයක් සතු ව ජෛවවිද්‍යාත්මක සම්භවයක් තිබීමේ හැකියාව තිබුණත් ඒ බව තහවුරු කරගෙන නිගමනයකට පිවිසීම සඳහා තවදුරටත් අධ්‍යයනයේ නිරතවිය යුතු බැවිනුයි.

“ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළ දියත් කළ පර්සවරන්ස් විසින් කරන ලද මෙම සොයාගැනීම, අඟහරු ග්‍රහයා මත ජීවයක් ඇති බව සොයා ගැනීමට අප ළඟා වූ ආසන්නතම අවස්ථාවයි. රතු ග්‍රහයා මත විභව ජෛව ලක්ෂණයක් හඳුනා ගැනීම යනු පෙරළිකාර සොයාගැනීමකි, එය අඟහරු පිළිබඳ අපගේ අවබෝධය ඉදිරියට ගෙන යනු ඇත,” යනුවෙන් භාරකාර NASA ප්‍රධානී ෂෝන් ඩෆී පවසනවා.

පර්සවරන්ස් රෝවරය ඉකුත් 2024 වසරේ ජුලි මාසයේ දී Cheyava Falls වෙත පිවිසියේ ජෙසරෝ ආවාටය අසල පිහිටි Neretva Vallis නමැති වියළී ගිය ඉපැරැණි ගංගා නිම්නයේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර පිහිටි ‘Bright Angel’ නමැති පිහිටුම අධ්‍යයනය කිරීමේ අරමුණින්.

“මම හිතනවා ඒක සෑහෙන ආකර්ෂණීයයි කියලා,” ලෝන්ග් අයිලන්ඩ් හි ස්ටෝනි බෘක් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු මෙන් ම පර්සවරන්ස් කණ්ඩායමේ සාමාජිකයකු වන ජෝයල් හුරෝවිට්ස් පවසනවා. NASA ආයතනයේ දශක දෙකකට වැඩි කාලයක් සේවයේ නියුතු ඔහු පවසන්නේ මේ කාල සීමාව තුළ අඟහරු මතින් හමු වූ ජීවයේ සලකුණක් ගැන වැඩිම විශ්වාසය තැබිය හැකි අවස්ථාව මෙය බවයි.

ඊයේ දිනයේ පැවති පුවත් සාකච්ඡාවකට එක්වෙමින් NASA හි වැඩබලන ප්‍රධානී මෙන් ම ඇමරිකානු ප්‍රවාහන ලේකම්වරයා ද වන ‍ෂෝන් ඩෆී සඳහන් කළේ “අඟහරු ලොවේ පැවති ජීවය පිළිබඳ අප සොයාගත් සුපැහැදිලි ම සංඥාව මෙය විය හැකි” බවයි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications