වසර සියයකට අධික කාලයක් තිස්සේ විද්‍යාඥයන් සහ මහජනතාව අතර දැඩි විවාදයට හා හාස්‍යයට ලක් වූ රුදුරු විලෝපික ඩයිනොසෝරයා Tyrannosaurus rex (T. rex) ගේ අසමානුපාතික කුඩා දෑත් පිළිබඳ අබිරහස විසඳීමට නවතම අධ්‍යයනයක් සමත් ව තිබෙනවා. Proceedings of the Royal Society B ජර්නලයේ පළ වූ මෙම පර්යේෂණයට අනුව, T. rex ගේ දෑත් කුඩා වී ඇත්තේ ඔවුන්ගේ හිස්කබල වඩාත් ශක්තිමත් සහ විශාල ලෙස පරිණාමය වීමට ඉඩ සැලසීම සඳහා සිදු වූ පරිණාමීය හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙසයි.
අඩි 40කට වඩා දිගු සිරුරක් ඇති T. rex ගේ දෑත් දිගින් අඩි 3ක් පමණක් වූ අතර, එය එහි පාදවල දිගින් තුනෙන් එකකටත් වඩා අඩු දිග ප්‍රමාණයක්. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි ප්‍රධාන පර්යේෂක චාලි රොජර් ෂෙරර් පවසන්නේ, පරිණාමයේ දී සතෙකුට සියලු ම අවයව එකවර ශක්තිමත් කරගත නො හැකි බවයි. ‘ඔබ ඔබේ හිස මඟින් විශාල ගොදුරු දඩයම් කිරීමට අවධානය යොමු කරන්නේ නම්, දෑත් සහ නියපොතු නඩත්තු කිරීමට විශාල ශක්තියක් වැය කිරීමේ අවශ්‍යතාවක් නැත’ යනුවෙන් ඔහු පැහැදිලි කරනවා.
ඒ අනුව, පරිණාමය විසින් දෑත් සඳහා වැය වන ශක්තිය ඉතිරි කර, එය වඩාත් ශක්තිමත් හිස්කබලක් සහ මාරාන්තික හකු බලයක් (bite force) වර්ධනය කිරීම වෙනුවෙන් යොමු කර තිබෙනවා. ඩයිනොසෝර් විශේෂ 85ක් ඇසුරින් කළ විශ්ලේෂණයකට අනුව, හිස්කබලේ ශක්තිය වැඩි වන විට දෑත්වල ප්‍රමාණය අඩු වන බව තහවුරු වී තිබෙනවා.
මෙම කුඩා දෑත් සහිත පරිණාමීය ලක්ෂණය T. rex ට පමණක් නොව, තවත් මාංශ භක්ෂක ඩයිනොසෝර් කණ්ඩායම් හතරක (ceratosaurids, megalosaurids, abelisaurids, සහ carcharodontosaurids) දැකිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා. මෙම සතුන් වසර මිලියන 180ක කාලයක් පුරා ලොව පුරා විසිරී සිටි අතර, ඔවුන් සියල්ලන් ම පාහේ සිය ප්‍රධාන අවිය ලෙස භාවිත කර ඇත්තේ හිසයි.
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් බෲසැට් පවසන්නේ, T. rex යනු ‘සියලු වැඩ කටයුතු සිය දැවැන්ත හිසෙන් සිදු කරන ගොඩබිම වෙසෙන මෝරෙකු’ වැනි බවයි. හිස්කබල විශාල වීමත් සමඟ එය දෑත් මඟින් සිදු කළ ගොදුරු අල්ලා ගැනීමේ කාර්යය ද තමන් වෙත පවරා ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ස්ටෙෆාන් ලෝටෙන්ෂ්ලේගර් පෙන්වා දෙන්නේ සිරුරේ විවිධ අවයව වර්ධනය කිරීම සඳහා සතෙකුට විශාල ශක්තියක් වැය වන බවයි. දෑත්වල කාර්යභාරය අවම වන විට, එම ශක්තිය හකු බලය වැඩි කිරීමට යෙදවීම වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත්, ශාක භක්ෂක ඩයිනොසෝරයන් ආහාර සොයා ගැනීමට සහ ආරක්ෂාව සඳහා තම දිගු දෑත් ඉදිරියටත් රඳවා තබාගෙන තිබෙනවා.
T. rex ගේ මෙම කුඩා දෑත් සම්පූර්ණයෙන් ම නිෂ්ඵල අවයවයක් නො වූවත්, එහි නිශ්චිත කාර්යය කුමක් ද යන්න තවමත් නිශ්චිත නැහැ. මෙම අධ්‍යයනය මඟින් පැහැදිලි වන්නේ ඩයිනොසෝරයන් එක ම පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා විවිධ සහ නව්‍ය පරිණාමීය විසඳුම් සොයාගෙන ඇති ආකාරයයි.