අභ්‍යවකාශ ගවේෂණයේ තවත් නව අදියරක් අරඹමින්, Artemis III මෙහෙයුම සඳහා තෝරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය NASA ආයතනය විසින් ඊයේ (09) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. 21 වන සියවස තුළ ප්‍රථම වරට සඳ මත මිනිසුන් ගොඩබෑම සඳහා අවශ්‍ය වන තාක්ෂණය සහ පෙරහුරුව සූදානම් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම මෙහෙයුම සැලකෙනවා. පෙර Artemis III සඳ මතුපිටට ගොඩබසින මෙහෙයුමක් ලෙස නම්කර තිබුණත් සංශෝධිත සැලසුමට අනුව, මේ වන විට පහළ පෘථිවි කක්ෂයේ (Low Earth Orbit) සිදුකරන අති නවීන, මිනිසුන් සහිත නිරූපණ මෙහෙයුමක් ලෙස ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. අනාගත ගගනගාමීන්ට NASA ආයතනයේ Orion අභ්‍යවකාශ යානයේ සිට මීළඟ පරම්පරාවේ වාණිජ සඳ ගොඩබෑමේ යානා වෙත මාරුවීම සඳහා අවශ්‍ය වන සංකීර්ණ සම්බන්ධ කිරීමේ සහ ගොඩබෑමේ උපක්‍රමවල සුරක්ෂිත භාවය තහවුරු කරගැනීම සඳහා මෙම මෙහෙයුම අත්‍යවශ්‍ය ‘පුහුණු අභ්‍යාසයක්’ ලෙස ක්‍රියා කරනවා.
ඒ අනුව රැන්ඩි බ්‍රෙස්නික්, ලූකා පර්මිටානෝ, ෆ්‍රෑන්ක් රූබියෝ සහ ආන්ද්‍රේ ඩග්ලස් Artemis III මෙහෙයුමේ ගගනගාමීන් ලෙස තෝරාගෙන ඇති බව ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී NASA ප්‍රධානී අයිසැක් ජෙරාඩ්මන් විසින් නිල වශයෙන් ප්‍රකාශකරනු ලැබුණා.
විශ්‍රාමික එක්සත් ජනපද මැරීන් බළකායේ කර්නල්වරයෙකු සහ ප්‍රවීණ ගගනගාමියෙකු වන රැන්ඩි “කොම්රේඩ්” බ්‍රෙස්නික් (Randy Bresnik) මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. 2004 වසරේ දී NASA ආයතනයට තේරී පත් වූ බ්‍රෙස්නික්, මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇති අතර, සංකීර්ණ අභ්‍යවකාශ සක්මන් ඇතුළු ව අභ්‍යවකාශයේ ගත කළ දීර්ඝ කාලීන අත්දැකීම් ඔහු සතු වනවා. ඔහුගේ නායකත්ව හැකියාව සහ F/A-18 ප්‍රහාරක ගුවන් යානා පරීක්ෂණ නියමුවෙකු ලෙස ඇති පසුබිම, මෙම මෙහෙයුමේ දී මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්වයන් කළමනාකරණය කර ගැනීමට ඔහුට මහත් පිටුවහලක් වනු ඇතැ යි බලාපොරොත්තු වනවා.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) නියෝජනය කරමින්, ඉතාලි ජාතික ගගනගාමී ලූකා පර්මිටානෝ (Luca Parmitano) මෙහෙයුමේ නියමුවා ලෙස තෝරා පත්කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත සිදුකළ දිගුකාලීන මෙහෙයුම් දෙකක අත්දැකීම් ඇති ඔහු, අභ්‍යවකාශ නැවතුම්පොළේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රථම ඉතාලි ජාතිකයා ද වනවා. ඉතාලි ගුවන් හමුදාවේ කීර්තිමත් පරීක්ෂණ නියමුවෙකු වන ඔහු, ගුවන් යානා වර්ග 40කට අධික ප්‍රමාණයක පියාසර පැය 2,000කට වඩා වාර්තා කර ඇති අතර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය තුළ සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ සහ සංකීර්ණ අභ්‍යවකාශ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු සතු තාක්ෂණික දැනුම අතිමහත්.
එක්සත් ජනපද හමුදාවේ කර්නල්වරයෙකු සහ පියාසර වෛද්‍යවරයෙකු වන ආචාර්ය ෆ්‍රෑන්ක් රූබියෝ (Frank Rubio) මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස මෙම කණ්ඩායමට එක් වනවා. ඔහු මෑතක දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දින 371ක් ගත කරමින් තනි අභ්‍යවකාශ ගමනක දී වැඩි ම කාලයක් ගත කළ ඇමරිකානු ගගනගාමියා ලෙස වාර්තාවක් තැබුවා. හමුදා ගුවන් නියමුවෙකු ලෙස යුද මෙහෙයුම් ඇතුළු පැය 1,100කට අධික පියාසර අත්දැකීම් සහ වෛද්‍යවරයෙකු ලෙස ඇති සුදුසුකම් ඔස්සේ, අභ්‍යවකාශයේ අන්ත අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මානව සෞඛ්‍යය සහ කාර්යසාධනය පිළිබඳව ඔහු දක්වන විශේෂඥතාව මෙම මෙහෙයුමට මිල කළ නො හැකි වටිනාකමක් එක් කරනවා.
මෙම කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරමින්, පද්ධති ඉංජිනේරුවෙකු සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ රක්ෂිත නිලධාරියෙකු වන ආන්ඩ්‍රේ ඩග්ලස් (Andre Douglas) මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස කටයුතු කරනවා. 2021 ගගනගාමී අපේක්ෂක පන්තියේ සාමාජිකයෙකු වන ඩග්ලස්, සමුද්‍රීය රොබෝ තාක්ෂණය, ග්‍රහලෝක ආරක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් පිළිබඳ ගැඹුරු තාක්ෂණික පසුබිමක් සහිත අයෙක්. ජෝන්ස් හොප්කින්ස් ව්‍යවහාරික භෞතික විද්‍යා විද්‍යාගාරයේ දී NASA ආයතනයේ DART ග්‍රහලෝක ආරක්ෂණ මෙහෙයුම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ඔහු, සංකීර්ණ පද්ධති ඉංජිනේරුකරණය සහ දෝෂ කළමනාකරණය පිළිබඳ සුවිශේෂී කුසලතා පෙන්නුම් කර තිබෙනවා. Orion අභ්‍යවකාශ යානය සහ එහි ආරම්භක සම්බන්ධ කිරීමේ උපාමාරු කළමනාකරණය කිරීමේ දී ඔහුගේ මෙම හැකියාවන් ඉතා තීරණාත්මක වනු ඇති.
Artemis III මෙහෙයුම 2027 වසරේ අගභාගයේ දී දියත් කිරීමට නියමිත අතර, එය ඉතා ඉහළ අවදානමක් සහිත වලංගුකරණ මෙහෙයුමක් ලෙස ක්‍රියා කරනවා. 1969 වසරේ සඳ වෙත යාමට පෙර පෘථිවි කක්ෂයේ දී චන්ද්‍ර මොඩියුලය පරීක්ෂා කළ ඓතිහාසික ඇපලෝ 9 මෙහෙයුම මෙන් ම, Artemis III මෙහෙයුම ද තීරණාත්මක ඒකාබද්ධතා සහ සුරක්ෂිතතා පරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කරනු ඇති. SpaceX සහ Blue Origin සමාගම් විසින් සංවර්ධනය කරන ලද වාණිජ සඳ ගොඩබෑමේ පද්ධති සමඟ යානා සම්බන්ධ කිරීමේ මෙහෙයුම් ප්‍රදර්ශනය කිරීම මෙහි මූලික අරමුණයි. මෙම මෙහෙයුම මඟින්, නව ගොඩබෑමේ යානාවල පියාසර පද්ධති, ජීවිතාරක්ෂක පද්ධති සහ සන්නිවේදන පද්ධති සැබෑ කක්ෂීය පරිසරයක දී පරීක්ෂා කිරීමට ගගනගාමීන්ට ප්‍රථම වරට අවස්ථාව ලැබෙනු ඇති. එසේ ම අනාගත චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් සඳහා අති නවීන Axiom සමාගමේ අභ්‍යවකාශ ඇඳුම් කට්ටල මෙහෙයුම් සඳහා සූදානම් දැ යි ඇගයීමට ද කණ්ඩායම සැලසුම් කර තිබෙනවා. කක්ෂයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් ජීවිතාරක්ෂක පද්ධතිවල ක්‍රියාකාරිත්වය සහ යානා සම්බන්ධ කිරීමේ සංකල්ප තවදුරටත් ඔප් නංවා ගැනීමේ හැකියාව ලැබෙන අතර, එය 2028 දී සිදුවීමට නියමිත Artemis IV මෙහෙයුම සඳහා අඩිතාලම දමනවා. NASA ආයතනය සිය මෙහෙයුම් සැලසුම් අඛණ්ඩ ව නවීකරණය කරන අතරතුර, මෙම කාර්ය මණ්ඩලය සමඟ Artemis III ජාත්‍යන්තර සහ වාණිජ සහයෝගීතාවයේ තවත් එක් විශිෂ්ට උදාහරණයක් ලෙස සනිටුහන් වනු ඇති. ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ, සඳ මත දිගුකාලීන මානව පැවැත්මක් ඇති කිරීමේ සහ අවසානයේ අඟහරු මත මිනිස් පා සටහන් තැබීමේ NASA සතු ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගමන් කරනු ඇති.