ශාරීරික ආබාධ සහිත පුද්ගලයෙකු පළමු වරට අභ්‍යවකාශයේ ජීවත් වීමේ ඓතිහාසික අවස්ථාවකට එක්සත් රාජධානියේ පැරාලිම්පික් ක්‍රීඩකයෙකු සහ ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෝන් මැක්ෆෝල් ළඟා වෙමින් සිටිනවා. එක්සත් රාජධානියේ රජය සහ කුඩා වාණිජමය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනඟමින් සිටින ඇමරිකානු සමාගමක් වන Vast අතර අත්සන් කරන ලද නවතම ගිවිසුමක් මඟින් මෙම අවස්ථාව උදා වී තිබෙනවා.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ගගනගාමී සංචිතයේ සාමාජිකයෙකු වන මැක්ෆෝල්ට පසුගිය වසරේ දී කක්ෂීය ක්‍රියාකාරකම් සඳහා වෛද්‍ය අනුමැතිය හිමිවුණා. ඒ අනුව 2027 වසරේ දී දියත් කිරීමට යෝජිත ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Haven-1 වෙත යන මෙහෙයුමකට ඔහු සහභාගී වීමට නියමියි.
Vast නම් කැලිෆෝනියානු සමාගම විසින් නිර්මාණය කරනු ලබන Haven-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. තනි තට්ටුවේ බස් රථයකට වඩා මඳක් කුඩා වන මෙම මධ්‍යස්ථානය තුළ ගගනගාමීන් සිව් දෙනෙකුට වාසය කළ හැකි අතර, එය පෘථිවිය නිරීක්ෂණය කිරීම සඳහා වන ගෝලාකාර කවුළුවකින් සහ ක්ෂුද්‍ර ගුරුත්ව පර්යේෂණ සඳහා වන විද්‍යාගාරයකින් සමන්විත වනවා.
“මෙය ඉතා උද්යෝගිමත් අවස්ථාවක්,” යනුවෙන් මැක්ෆෝල් ජර්මනියේ පිහිටි ESA ගගනගාමී මධ්‍යස්ථානයේ සිට ප්‍රකාශ අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කරනවා.
සති දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශ පරිසරය ඔහුගේ ශරීරයට මෙන් ම නවීන කෘත්‍රිම පාදවලට කෙසේ බලපාන්නේ ද යන්න අධ්‍යයනය කිරීමයි. සංවේදක සහ මයික්‍රොප්‍රොසෙසර් මත ක්‍රියාත්මක වන කෘත්‍රිම පාද ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වයන් යටතේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව මෙහි දී පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. මෙමඟින් වඩාත් සැහැල්ලු සහ අනුකූල කෘත්‍රිම පාද නිර්මාණය කිරීමටත්, අස්ථි ක්ෂය වීම (osteoporosis) සහ මාංශ පේශි දුර්වල වීම වැනි තත්ත්වයන් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමටත්, ආබාධිත පුද්ගලයින්ගේ පුනරුත්ථාපන වැඩසටහන් දියුණු කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැ යි බලාපොරොත්තු වනවා.
විද්‍යාත්මක අරමුණුවලට අමතර ව, ආබාධ සහිත පුද්ගලයින්ට කළ හැකි රැකියා පිළිබඳව සමාජයේ පවතින දුර්මත බිඳ දැමීම මෙම මෙහෙයුමේ තවත් වැදගත් අපේක්ෂාවක් වනවා. “ආබාධිත පුද්ගලයින්ට ගගනගාමීන් වීම කිසිදු ගැටලුවක් නො වන බව අපි මෙයින් පෙන්වා දෙනවා,” මැක්ෆෝල් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව, මැක්ෆෝල්ගේ අභ්‍යවකාශ ගමන සඳහා අනුග්‍රාහකත්වයන් ලබා ගැනීමට එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සිය Vast සමාගමට සහාය වනු ඇති. ඔහු ඇතුළු අනෙකුත් ගගනගාමීන් SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුවක් මඟින් Crew Dragon කැප්සියුලය හරහා Haven-1 මධ්‍යස්ථානය වෙත ගමන් කරීම සැලසුම් අතර වනවා.
හැම්ප්ෂයර් හි උපත ලද 45 හැවිරිදි මැක්ෆෝල්ට වයස අවුරුදු 19 දී සිදු වූ යතුරුපැදි අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු පාදය අහිමි වුණා. ඉන් අනතුරුව ක්‍රීඩාවට යොමු වූ ඔහු 2008 බීජිං පැරාලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. පසු ව ඔහු ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලබනවා.
2022 වසරේ දී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් ක්‍රියාත්මක කළ, ආබාධ සහිත ගගනගාමීන්ට දිගු කාලීන මෙහෙයුම් සඳහා සහභාගී විය හැකි ද යන්න සොයා බලන ‘Fly!’ ව්‍යාපෘතිය සඳහා ඔහුව ද තෝරා ගැනුණා.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, 2015-16 වසරවල ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් ගත කළ ටිම් පීක්ගෙන් පසු ව අභ්‍යවකාශයට යන පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා බවට ද ජෝන් මැක්ෆෝල් පත්වනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ටිම් පීක් පැවසුවේ, “ජෝන් මැක්ෆෝල් යනු අභ්‍යවකාශ ප්‍රජාවට පමණක් නොව, තමන්ට ළඟා විය හැකි සීමාවන් ගැන සැක කරන ඕනෑ ම කෙනෙකුට විශාල ආදර්ශයක්” බවයි.