Home Science News ජේන් ගුඩෝල් : ප්‍රයිමේටාවුන්ගේ මිතුරිය දිවි සැරිය නිම කරයි

ජේන් ගුඩෝල් : ප්‍රයිමේටාවුන්ගේ මිතුරිය දිවි සැරිය නිම කරයි

by Sathya

කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇය 91 වැනි වියේ පසු වුණා.

චිම්පන්සීන් අධ්‍යයනය කිරීමට ප්‍රියතාවයක් දක්වූ ජේන් ගුඩෝල් ඒ ඔස්සේ සත්ත්ව චර්යා අධ්‍යයනය නව මානයකට රැගෙන යාමට උරදුන්නා පමණක් නොව, අදාළ විෂයෙහි ලා කාන්තාවන්ගේ සහභාගීත්වයට තිබූ බාධාවන් ද දුරලූ බව පිළිගැනීමයි. චිම්පන්සීන්ගේ හැඟීම් සහ පෞරුෂ ගති ලක්ෂණ අධ්‍යයනයට ලක් කළ ඇය ප්‍රයිමේටාවුන් සහ මිනිසුන් අතර ඇත්තේ බොඳ වූ සීමාවක් බව පෙන්වා දුන්නා. 

ඇය විසින් පවත්වාගෙන යනු ලැබූ ජේම්ස් ගුඩෝල් ආයතනය නිවේදනය කළේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු කරමින් සිටි සම්මන්ත්‍රණාත්මක චාරිකාවක් අතරතුර දී ස්වාභාවික හේතූන් මත ඇය මිය ගිය බවයි. “ආචාර්ය ගුඩෝල්ගේ සත්ත්ව චර්යා විද්‍යාඥවරියක ලෙස කළ සොයාගැනීම් විද්‍යාව විප්ලවීය වෙනසකට ලක් කළ අතර, ඇය අපගේ ස්වභාවික ලෝකය ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වෙහෙස නොබලා පෙනී සිටි අයෙක් වූවා” යි ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කරමින් සඳහන් කර තිබුණා.

ගුඩොල් 2004 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව ලෙස නම් කරන ලද අතර, 2002 දී එක්සත් ජාතීන්ගේ සාම දූතිකාවක වශයෙන් ද නම් කරනු ලැබ තිබෙනවා. 2025 දී ඇමරිකානු රජය විසින් නිදහස් වෙන්වෙන් වන ජනාධිපති පදක්කම (Presidential Medal of Freedom) ද ඇය වෙත පිරිනමනු ලැබුවා.  

මරණය පිළිබඳ ශෝකය පළ කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය X පණිවුඩයක් තබමින් අපගේ ලෝකය සහ එහි සියලු පදිංචිකරුවන් වෙනුවෙන් වෙහෙස නො බලා වැඩ කළ ගූඩෝල්, මනුෂ්‍යත්වය සහ සොබාදහම වෙනුවෙන් අසාමාන්‍ය මට්ටමේ ලෙගසියක් ඉතිරිකර ගොස් ඇති බව සඳහන් කළා. 

තම ප්‍රධානියා වූ, කීර්තිමත් මානව විද්‍යාඥයෙකු මෙන් ම පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ලුවී ලීකීගේ (Dr. Louis Leakey) ඉල්ලීම පරිදි ගුඩෝල් ටැන්සානියාවේ ගොම්බේ ස්ට්‍රීම් චිම්පන්සි රක්ෂිතයට (Gombe Stream Chimpanzee Reserve) පැමිණියේ 1960 දී යි. ඒ වන විට නිසි උසස් අධ්‍යාපනයක් ලබා නො සිටි ඇය චිම්පන්සීන්ගේ චර්යා රටා නිරීක්ෂණයට සහ අධ්‍යයනයට යොමු වූ අතර මුල දී ඈ දුටු විට චම්පන්සීන් ඉවතට දිව ගිය බව ද ඇය සඳහන් කර තිබෙනවා. “උන් ඊට කලින් සුදු වානරයෙක් දැකලා තිබුණේ නැහැ” යි ඇය 2019 දී දීපක් චොප්රා සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබෙනවා. 

ඇය පවසන පරිදි ඒ සියල්ල වෙනස් වූයේ ඇය ඩේවිඩ් ග්‍රේබියර්ඩ් ලෙස නම් කළ වැඩිමහල් චිම්පන්සියෙකු මුණගැසීමෙන් පසුවයි. ඩේවිඩ් පසුපස වනය පුරා සක්මන් කිරීමෙන් කිරීමෙන් පසු, ඇය ඔහුට තල් ඇටයක් පිරිනැමා තිබෙනවා. “ඔහු එය ගත්තා, එය අතහැරියා, නමුත් ඉතා සෙමින් මගේ ඇඟිලි මිරිකුවා,” ගුඩෝල් පසුකලෙක සිහිපත් කළා. “චිම්පන්සින් එකිනෙකාට සහතික වන්නේ එලෙසයි.”

මූලික උපාධියක් නොමැති ව සිටිය ද, සත්ත්ව චර්යාව පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටි මේ තරුණ බ්‍රිතාන්‍ය ජාතික කත, චිම්පන්සින්ව දුරස්ව තබා අධ්‍යයනය කරනවා වෙනුවට, මාස ගණනක් තිස්සේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් චිම්පන්සි ගහනය සමඟ සමීප වීමට උත්සුක වුණා. ඇය ඔවුන්ට නම් තැබූ අතර ඔවුන්ගේ හැඟීම් කියවීමට ඉගෙන ගත්තා.

එලෙස වර්ධනය වූ චිම්පන්සින් සමඟ ඇතිකරගත් බැඳීම මියෙන තෙක් ම පවත්වාගත් ජේන් ගුඩෝල් ඇතැම් අවස්ථාවල දී අනෙකුත් විද්‍යාඥයන් අතර නො සන්සුන්කාරී මතභේදාත්මක තත්ත්වයන් ද ඇති කළේ අංක යොදා සතුන් නම් කිරීම වෙනුවට ඔවුන් නම්වලින් හඳුන්වා පෞරුෂය සහ ප්‍රකට කරන හැඟීම් ආදිය කෙරේ වැඩි අවධානයක් ලබා දීම හේතුවෙනුයි. ඒ කුමන තත්ත්වයක් යටතේ වුව ද සිය විශ්වාසයන් සහ ධර්මතාවන්ගෙන් ඈත් නො වී ඍජු ව නැඟී සිටීමට ඇය සමත් වී තිබුණා. 

“ගොම්බේහි දී මා කළ නිරීක්ෂණ මිනිසාගේ සුවිශේෂත්වය ප්‍රශ්න කිරීමට හේතු වුණා.” ගුඩෝල් පැවසුවාය. “ [එවක] මා තරුණ, පුහුණුවක් නො ලත් තරුණියක වූ නිසා මගේ නිරීක්ෂණ අවිශ්වාස කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ නිසා ඒවා නො සලකා හැරිය යුතු බවට ඔවුන් තර්ක කළා.” ඇය පසු කලෙක ආවර්ජනා කර තිබෙනවා. 

ආචාර්ය ගුඩෝල්ට උපහාර දැක්වූවන් අතර, හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ද වනවා. ඔහු කියා සිටින්නේ, ඇය “විද්‍යාවට සම්බන්ධ කාන්තා පරම්පරා ගණනාවකට දොරටු විවෘත කළ” බවයි. හොලිවුඩු නළු සහ පරිසර ක්‍රියාකාරික ලියනාඩෝ ඩිකැප්‍රියෝ පවසන්නේ, ඇය “මිලියන ගණනක් දෙනාට සැලකිලිමත් වීමට, ක්‍රියා කිරීමට සහ බලාපොරොත්තු තබා ගැනීමට පෙළඹවීමක් ලබා දුන්” බව සහ ඇය “පෘථිවිය වෙනුවෙන් කටයුතු කළ සැබෑ වීරවරියක්” ලෙස හැඳින්විය හැකි බවයි.

ඇගේ සමකාලීනයෙකු වූ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ, සමාජය දැනුම්වත් කිරීම කෙරෙහි ඈ තුළ වූ පසු නො බට උත්සාහය සිහිපත් කර සිටින අතර ඇය පරිසර සංරක්ෂණයට උරදුන් ශ්‍රේෂ්ඨ තැනැත්තියක ලෙස හඳුන්වනවා.  

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications