Home Science News හෙළිකරගත් පැරැණිතම RNA අණු මඟින් මැමත් පැටවෙකුගේ මරණ මංචකය ගැන තොරතුරු හෙළිකර ගැනේ

හෙළිකරගත් පැරැණිතම RNA අණු මඟින් මැමත් පැටවෙකුගේ මරණ මංචකය ගැන තොරතුරු හෙළිකර ගැනේ

by Sathya

විද්‍යාඥයන්, වසර 40,000 කට පෙර වර්තමාන සයිබීරියාවේ දී මියගිය යූකා (Yuka) නම්, කුඩා වියේ පසු වූ මැමතයකුගේ සිරුරෙන් RNA අණු සොයාගෙන්නට සමත් වී තිබෙනවා. මෙම ජීව විද්‍යාත්මක අවශේෂ, වඳ වී ගිය අයිස් යුගයේ සත්ත්වයාගේ අවසන් මොහොත පිළිබඳ ව තොරතුරු සපයනවා.

​ශත වර්ෂ ගණනාවක් තිස්සේ සයිබීරියාවේ නිත්‍ය තුහින පොළොව (permafrost) තුළ අසාමාන්‍ය ලෙස සංරක්ෂණය වී තිබූ මමීකරණය වූ මැමත් සිරුරේ පාදයේ පටකවලින් මෙලෙස RNA නිස්සාරණය කර තිබෙනවා. ඒ අනුව විද්‍යාඥයන් විසින් අනුක්‍රමණය කරන ලද වයස්ගත ම RNA අනු බවට පත් වන්නේ මෙයයි. දැන්, පර්යේෂකයන් මෙම තොරතුරු භාවිත කරමින් මැමත් පැටවා මිය යන මොහොතේ සිරුර තුළ කුමන ජාන සක්‍රීය ව තිබුණේ දැ යි අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

​”මොළයේ, අක්මාවේ හෝ මාංශ පේශිවල හෝ සියලු ම සෛලවල, වුවත්, අඩංගු DNA එකම ස්වභාවයක් ගන්නවා. එබැවින් මෙම සෛල එකිනෙකට වෙනස් වන්නේ මූලික වශයෙන් RNA නිසයි” යැ යි ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ සහ ස්වීඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පාෂාණධාතු ජාන විද්‍යා මධ්‍යස්ථානයේ පරිණාමීය ජාන විද්‍යා මහාචාර්යවරයෙකු ලව් ඩාලන් පවසනවා. “එය විවිධ සෛල වර්ගවල කුමන ජාන ක්‍රියාත්මක වී සහ ක්‍රියාවිරහිත වී ඇත්ද යන්න ගැනයි.”

​DNA සහ RNA සියලුම ජීවීන් තුළ දක්නට ලැබෙනවා. DNA යනු ජීවය සඳහා වන දෘඪ කේතය (hard code) වන අතර, RNA එම ජාන උපදෙස් කියවන අතර සෛලයකට ප්‍රෝටීන තැනීමට උපකාරී වන පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියාකරනවා.

​පැරණි DNA වසර මිලියනයකට වඩා වැඩි කාලයක් පැවතිය හැකි අතර එය අතීතය පිළිබඳ විද්‍යාඥයින්ගේ අවබෝධය විප්ලවීය වෙනසකට ලක් කර තිබෙනවා.

​කෙසේ වෙතත්, RNA මෑතක් වන තුරුම සලකනු ලැබුණේ ඉක්මනින් ක්ෂය වන ලෙසයි. පර්යේෂකයන්ගේ නව ශිල්පීය ක්‍රම ඉතා සුවිශේෂ ලෙස සංරක්ෂණය වී නොමැති සාම්පල සඳහා ක්‍රියාත්මක වේ ද යන්න තවමත් පැහැදිලි නැහැ.

පර්යේෂකයන්, මාංශ පේශි සහ සම ඇතුළු ශීත කළ මැමත පටක සාම්පල 10 ක් අධ්‍යයනය කළ අතර, ඉන් තුනකින් RNA කැබලි ලබා ගැනීමට සමත් වුණා.

​එයින් එක සාම්පලයකින් පමණක් සවිස්තරාත්මක අනුක්‍රමණ දත්ත ලබාගැනීමට හැකි වූ බවත්, එමඟින් මැමතා මිය යන විට එම සත්ත්වයා තුළ ජාන ක්‍රියාත්මක වූ ආකාරය හෙළි කළ හැකි බවත් කණ්ඩායම සඳහන් කළා. එම සාම්පලය අයත් වූයේ 2010 වසරේ ඊසානදිග සයිබීරියාවේ ඔයෝගොස් යාර්හි දී සොයාගැනුණු යූකාට (Yuka) අයත් සිරුරටයි.

​මෙම දත්ත තුළ, ප්‍රෝටීන සංකේතනය කරන පණිවිඩකාර RNA අණු මෙන් ම, ජානවල ක්‍රියාකාරිත්වය නියාමනය කරන ක්ෂුද්‍ර RNA (microRNA) ද හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබුණා. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ Globe Institute හි පශ්චාත්-ආචාර්ය උපාධි පර්යේෂකයෙකු වන, එමෙන් ම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා ද වන එමිලියෝ මාර්මෝල් සැන්චේස් පැවසුවේ, මේවා සමස්තයක් ලෙස “මැමතයා මිය යාමට මොහොතකට පෙර එහි සෛල තුළ සිදුවෙමින් තිබූ ජීව විද්‍යාත්මක ක්‍රියාවලි” හෙළි කළ බවයි.

​මාර්මෝල් සැන්චේස් පැවසුවේ, “අපි උපකල්පනය කරන්නේ මෙම සත්ත්වයා මරණයට ආසන්න ව සිටි බව සහ එය මාංශ පේශිවල පරිවෘත්තීය ක්‍රියාවලියෙන් විදහා දක්වන බවයි.”

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications