Home Science News වසර මිලියන 240කට ඉහත විසූ වත්මන් කිඹුලන්ගේ ආදිතමයෙකු සොයාගැනේ

වසර මිලියන 240කට ඉහත විසූ වත්මන් කිඹුලන්ගේ ආදිතමයෙකු සොයාගැනේ

by Sathya

මිහිතලය මත ඩයිනොසෝරයන් බිහිවීමට ඉතා ආසන්නව පැවති වසර මිලියන 240 කට ඉහත මධ්‍ය ත්‍රියාසික අවධියේ දී වත්මන් බ්‍රසීලය පුරා ඇවිද ගිය උරගයෙකු පිළිබඳ නවතම අනාවරණය ඉකුත් නොවැම්බර් 13 වැනි දින පළ වූ Journal of Systematic Paleontology ජර්නලයේ වාර්තාවක දැක්වෙනවා.

ඩයිනොසෝරයෙකුට සමාන පෙනුමක් ඇති නමුත් සැබවින් ම වර්තමාන කිඹුලන්ගේ ආදිතමයෙකු වන මෙම උරගයා ග්‍රීක, ලතින් සහ බ්‍රසීලයට ආවේණික ගුවරානි යන භාෂා තුනේ ම සංකලනයෙන් යුත් Tainrakuasuchus bellator යන නාමයෙන් හඳුන්වා තිබෙනවා. එහි අරුත ‘උල් දත් ඇති රණශූර උරගයා’ යන්නයි.

ඉහත වාර්තාවේ ප්‍රධාන කතුවර බ්‍රසීලයේ සැන්ටා මාරියාහි ෆෙඩරල් සරසවියේ පාෂාණිධාතු විද්‍යාඥ රොඩ්‍රිගෝ ටෙම්ප් මියුලර් පවසන පරිදි මෙය ජීවයේ ඉතිහාසයෙහි තීරණාත්මක මොහොතක් වූ ඩයිනොසෝරයන්ගේ උපතට පෙර පැවති අවධිය ආලෝවත් කරන සොඋආගැනීමක් වනවා.

වසර මිලියන 252 කට ඉහත සිට වසර මිලියන 201 කට ඉහත කාලය තුළ පැවති ත්‍රියාසික අවධියේ දී ‘ප්‍රබලතම උරගයන්’ යන අරුත ඇති ආකොසෝරයන් (Archosaurs) එවක ගොඩබිමෙහි විසූ පෘෂ්ටවංශීන් අතර ආධිපත්‍යය ඉසිලූ සත්ත්ව කාණ්ඩය වූවා. පසු ව මොවුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට පරිණාමීය ව බෙදී ගිය අතර ඉන් ඕනිතොසූකියා (Ornithosuchia) නම් කාණ්ඩය පක්ෂීන් හා ඩයිනොසෝරයන් බවට පරිණාමය වන විට සියුඩොසූකියා (Pseudosuchia) නම් අනෙක් කාණ්ඩය වත්මන් කිඹුලන් අයත් වන ක්‍රොකඩිලියාවන් බවට පරිණාමය වූවා.

අලුතෙන් සොයාගෙන ඇති Tainrakuasuchus bellator අයත් වන්නේ ඉහත සියුඩොසූකියා කාණ්ඩයටයි. මේ උරගයා මීටර් 2.4 ක් (අඩි 7.9) දිගැති වූ අතර කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරැති වුණා. දිගු ගෙලක් තිබූ උගේ සිහින් හනුවල උල් දත් පිරී තිබූ බව හඳුනාගෙන තිබෙනවා.

මෙවැනි සියුඩොසූකියා ආකාර ඉතා අඩු ගණනක් දකුණු ඇමරිකාවෙන් සොයාගෙන ඇති බව ඉහත වාර්තාවේ පර්යේෂකයන් සඳහන් කරනවා.

පසුගිය මැයි මස බ්‍රසීලයේ Dona Fransisca මහ නගර සභා ප්‍රදේශයේ කැණීමකින් මෙම උරගයාගේ යටි හනුව, කශේරුව හා ශ්‍රෝණිය අයත් ඇටසැකිලි කොටසක් එම පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. සක්‍රිය විලෝපියෙකු වූ උගේ සිරුරේ පිට පැත්ත නූතන කිඹුලන්ගේ වැනි අස්ථිමය ඵලකවලින් ආවරණය වී තිබුණා.

මෙම Tainrakuasuchus bellator උරගයාට සමීප සමානත්වයක් තිබූ Mandasuchus tanyauchen නම් උරගයා 1933 වසරේ දී සොයාගෙන තිබුණේ ටැන්සානියාවෙන්.

එම උරගයා වසර මිලියන 245 කට ඉහත ජීවත් ව තිබුණේ අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව ඒකාබද්ධව පැන්ජියාව නම් සුපිරි මහාද්වීපය පැවති අවධියේයි.

එම කාලයේ දී මහාද්වීප එක් ව තිබීම හේතුවෙන් දැන් සාගරවලින් වෙන් වී ඇති එම ගොඩබිම් හරහා නිදහසේ පැතිර යාමට ඉහත සතුනට අවස්ථාව ලැබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස පරිණාමීය ව හා පාරිසරික ව බැඳුණු ඉතිහාසයක් පිළිබිඹු කරන පොදු මූලාංග කීපයක් බ්‍රසීලයේ හා අප්‍රිකාවේ සතුන් අතර බෙදී ගිය බව ඉහත වාර්තාවේ ප්‍රධාන කතුවර මියුලර් සඳහන් කරනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications