Home Science News ESA හි සංවේදී දත්ත සොරාගත් සයිබර් ප්‍රහාරය

ESA හි සංවේදී දත්ත සොරාගත් සයිබර් ප්‍රහාරය

by Sathya

දිගින් දිගට ම එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවකින් යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) සතු ගිගාබයිට් ගණනක දත්ත පැහැරගෙන ඒවා ඩාක් වෙබ්හි පළකරනු ලැබ තිබෙනවා. අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගත හැකි නොවූ එම සයිබර් හැකර්වරුන්ට එරෙහි ව අපරාධ විමර්ශනයක් ඇරඹීමට ESA පියවර ගෙන තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ සයිබර් ආරක්ෂණ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, මෙවැනි බොහෝ ප්‍රහාර මීට පෙර හඳුනාගැනීමට නො හැකි වන සේ ම එල්ල වී ඇති බව හා ESA සහ NASA සේවකයින්ගේ විද්‍යුත් තැපැල් ඇතුළු සංවේදී දත්ත නිරන්තරයෙන් ඩාක් වෙබ් සංසදවල විකිණීමට තබා ඇති බවයි.

පසුගිය නත්තල් සමය ESA ආයතනයට එතරම් සුබදායී වූයේ නැහැ. දෙසැම්බර් 26 වන දින එම ඒජන්සියට අයත් හිමිකාර මෘදුකාංග, අවසර දීමේ අක්තපත්‍ර, ප්‍රවේශ ටෝකන සහ සංවේදී ව්‍යාපෘති ලේඛන ඇතුළත් දත්ත සමුදායක් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියේ ලබා ගත හැකි බවට වාර්තා පළ වුණා. එසේ ම “888” යන සංකේත නාමයෙන් පෙනී සිටි හැකර්වරයෙකු, තමන් සොරාගත් ගිගාබයිට් 200කට අධික දත්ත ප්‍රමාණයක් අඳුරු වෙබ් සංසදයකට මුදා හැර තිබුණා.

මෙම දත්ත සොරාගැනීමෙන් සිදු වූ බලපෑම “සීමිත” බව ESA සඳහන් කළ නමුත් එම ප්‍රකාශය කර සතියකට පමණ පසු, The Register පුවත් අඩවිය අනාවරණය කළේ Scattered Lapsus$ Hunters නමින් හැඳින්වෙන සයිබර් අපරාධ කල්ලියක් එම ඒජන්සියෙන් තවත් දත්ත ගිගාබයිට් 500ක් සොරකම් කර ඇති බවයි. ESAහි දත්ත පද්ධතිවල අදාළ ආරක්ෂක දුර්වලතාවය තවමත් පිළිසකර කර නොමැති බව ද ඔවුන් හෙළිදරව් කර තිබුණා.

මෙලෙස සොරාගෙන ඇති දත්ත අතර, මෙහෙයුම් ක්‍රියාපටිපාටිවල සංවේදී තොරතුරු, අභ්‍යවකාශ යානා සහ මෙහෙයුම් පිළිබඳ විස්තර මෙන් ම SpaceX, Airbus සහ Thales Alenia Space වැනි හවුල්කාර සමාගම්වල කොන්ත්‍රාත් විස්තර ද ඇතුළත්.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications