Home Science News භූ කම්පන සංවේදකවලින් අභ්‍යවකාශ සුන්බුන්වල ගමන් මාර්ගය හඳුනාගැනේ

භූ කම්පන සංවේදකවලින් අභ්‍යවකාශ සුන්බුන්වල ගමන් මාර්ගය හඳුනාගැනේ

by Sathya

එන්න එන්න ම අභ්‍යවකාශ සුන්බුන් වැඩි වශයෙන් පතිත වන පසුබිමක, නවතම අධ්‍යයනයකින් දැක්වෙන්නේ මේවායේ ගමන් පථය හඳුනාගැනීම සඳහා භූකම්පන සංවේදක (earthquake monitors) යොදාගත හැකි බවයි. සුන්බුන් කොටස් වායුගෝලයට ඇතුළු වූ පසු ශබ්දයේ බාධකය බිඳෙන විට ඇති වන ස්වනික පිපුරුමේ (sonic boom) හඬට සුසර කිරීමෙන් එය සිදු කළ හැකි බව එහි දැක්වෙනවා.

අධ්‍යයනය සිදු කළ ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ 2024 වසරේ දී චීනයේ නියමු කැප්සියුලයක කොටසක් දකුණු කැලිෆෝනියාවට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන අවස්ථාවේ ඇති වූ ස්වනික පිපුරුම ග්‍රහණය කරගත් භූ කම්පන සංවේදක මඟින් එය ගමන් ගන්නා මාර්ගය අතිශය නිරවද්‍ය ලෙස ගණනය කරීමට හැකි වූ බවයි. අදාළ සුන්බුන් කොටස පෙර උපකල්පනය කරන ලද ගමන් මාර්ගයට වඩා කිලෝමීටර 30ක් පමණ දකුණු දෙසින් ඇදී ගිය බව ද එහි දී පෙනී ගොස් තිබුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ ක්‍රමය භාවිත කරමින් අතිධ්වනික වේගයෙන් එන පාලනය කළ නො හැකි වස්තූන් පතිත වන ස්ථානය නිවැරැදි ව සොයාගෙන ආරක්ෂක අංශවලට එම ස්ථානයට ළඟා විය හැකි බවයි. කඩා වැටෙන වස්තුවේ විෂ සහිත සංඝටක තිබේ නම් මේ ක්‍රමය භාවිතයෙන් එය ලුහුබැඳ සාමාන්‍ය ජනතාවට ළඟා නො විය හැකි වන සේ කටයුතු සම්පාදනය කළ හැකි යි.

“මේ මොහොතේ පවතින ගැටලුව වන්නේ අභ්‍යවකාශයේ ඇති දේවල් ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට අපට හැකියාව තිබීමයි. නමුත් එය වායුගෝලයට ඇතුළු වී සැබවින් ම බිඳී යාමට පටන් ගන්නා අවස්ථාවට පැමිණි විට, එය නිරීක්ෂණය කිරීම ඉතා අපහසුයි.” අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥ බෙන්ජමින් ෆර්නැන්ඩෝ පවසනවා.

Science සඟරාවේ පළ වූ ඔහු ඇතුළු කණ්ඩායමේ සොයාගැනීම් එක් සුන්බුන් පතිත වීමේ සිදුවීමක් කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති නමුත් පර්යේෂකයන් මේ වන විටත් පොදුවේ ලබාගත හැකි භූ කම්පන ජාල (seismic networks) දත්ත භාවිතා කරමින්, ටෙක්සාස් ඉහළ අහසේ දී අසාර්ථක වූ SpaceX Starship පරීක්ෂණ පියාසර කිරීම් තුනක සුන්බුන් ඇතුළු ව, වායුගෝලයට නැවත ඇතුළු වූ තවත් වස්තූන් දුසිම් ගණනක් නිරීක්ෂණය කර තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications