Home Science News චීනයේ රහසිගත දිව්‍ය මකරා සිව් වැනි අභ්‍යවකාශ සැරියේ

චීනයේ රහසිගත දිව්‍ය මකරා සිව් වැනි අභ්‍යවකාශ සැරියේ

by Sathya

පසුගිය පෙබරවාරි 6 වන දින, ගෝබි කාන්තාරයේ ජියුක්වාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ චීනයේ ‘දිව්‍ය මකරා’ යන්න අරුත් ගැන්වෙන ‘ෂෙන්ලොන්ග්’ (Shenlong) යානය මේ වන විට සිය සිව්වන රහසිගත මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම යානය පෘථිවිය වටා කක්ෂගතව සිදු කරන්නේ කුමක් ද යන්න මෙතෙක් හෙළිදරව් කර නැහැ. චීන රජය මේ පිළිබඳව පවත්වාගෙන යන දැඩි රහස්‍යභාවය ලෝක ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි කුතුහලයට හේතු වී තිබෙනවා.

ෂෙන්ලොන්ග් යානය, ඇමරිකානු අභ්‍යවකාශ බලකාය සතු X-37B යානයට බෙහෙවින් සමාන තාක්ෂණික ලක්ෂණ පෙන්නුම් කරනවා. අඩි 29ක් පමණ දිගැති මෙම යානා දෙක ම නාසා ආයතනයේ පැරැණි අභ්‍යවකාශ ෂටලවල කුඩා කළ ආකෘතියකට සමාන වනවා. එක්සත් ජනපදයේ X-37B යානය පසුගිය අගෝස්තු මාසයේ දී SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් සිය අටවන මෙහෙයුම සඳහා පිටත් ව ගිය අතර, චීනයේ ෂෙන්ලොන්ග් යානය ද සිය මෙහෙයුම් කාලසීමාවන් ක්‍රමයෙන් දීර්ඝ කරමින් සිටිනවා. (පළමු මෙහෙයුම දින 2ක් ද, දෙවන මෙහෙයුම දින 276ක් ද, තෙවන මෙහෙයුම දින 266ක් ද වශයෙන්). චීනය පවසන්නේ මෙය අනාගතයේ දී අභ්‍යවකාශය සාමකාමී ව භාවිත කිරීම සඳහා වන පර්යේෂණයක් බව වුවත්, එහි සැඟවුණු අරමුණු පිළිබඳ සැකය තවමත් පහ ව ගොස් නැහැ.

මෙම යානය අභ්‍යවකාශයේ සිට බෝම්බ හෙළන ආයුධ විය හැකි බවට පවතින මතය Secure World Foundation (SWF) වැනි ආයතන තාක්ෂණික කරුණු මත පදනම් ව බැහැර කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම යානාවල ඇති ‘පිකප් ට්‍රක්’ රථයක පසුපස කොටසට සමාන කුඩා ගබඩා ඉඩකඩ තුළ විනාශකාරී ආයුධ ප්‍රවාහනය කිරීම ප්‍රායෝගික නො වන බවයි.

“X-37B යානය (සහ ෂෙන්ලොන්ග්) වායුගෝලයට ඇතුළු වන විට එහි වේගය ඉතා අඩු බැවින් සහ හැසිරවීමට අපහසු බැවින්, එය ගුවන් ආරක්ෂක පද්ධතිවලට පහසුවෙන් ගොදුරු විය හැකි මන්දගාමී ග්ලයිඩර් බෝම්බයක් වැනි වනු ඇති.” SWF පවසනවා.

කෙසේ නමුත් විශේෂඥයන් වැඩි අවධානයක් යොමු කරන්නේ ෂෙන්ලොන්ග් යානය සතු ‘Rendezvous and Proximity Operations’ (RPO) හැකියාව වෙතටයි. ඇමරිකානු X-37B යානය සාමාන්‍යයෙන් හුදෙකලා ව කක්ෂගත ව සිටිය ද, ෂෙන්ලොන්ග් යානය වෙනත් වස්තූන් සමඟ සමීප ව කටයුතු කිරීමේ අවස්ථා අත්හදා බැලීම් සිදු කර තිබෙනවා.

සිය පළමු මෙහෙයුමේදී මුදාහළ චන්ද්‍රිකාව මඟින් විකාශන දත්ත පරීක්ෂා කළ අතර, දෙවන මෙහෙයුමේ දී මුදාහළ චන්ද්‍රිකාව සතු ව ස්වාධීන ප්‍රචාලන හැකියාවන් පැවති බව නිරීක්ෂණය වී තිබුණා. මෙමඟින් තමන්ගේ ම චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීමට මෙන් ම, අවශ්‍ය වුවහොත් සතුරු චන්ද්‍රිකාවලට බාධා කිරීමට හෝ ඒවා නිරීක්ෂණය කිරීමට චීනයට හැකියාව ලැබෙනු ඇතැ යි විශ්වාස කෙරෙනවා.

SWF ආයතනයේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂිකා වික්ටෝරියා සැම්සන් පවසන පරිදි, වර්තමානයේ අභ්‍යවකාශ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට නම් RPO තාක්ෂණය අත්‍යවශ්‍ය වනවා. “විනිවිදභාවයකින් තොර ව මෙවැනි මෙහෙයුම් සිදු කිරීම නිසා මිනිසුන් නරක ම දේ අපේක්ෂා කරනවා,” යැ යි පවසන ඇය, මෙවැනි වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර අනාවරණය කිරීම අනවශ්‍ය බිය දුරු කිරීමට හේතු වන බව අවධාරණය කරනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications