Home Science News නාසයට දැනෙන කෞතුකාගාරයක්

නාසයට දැනෙන කෞතුකාගාරයක්

by Sathya

කෞතුකාගාරයක් කිවූ සැණින් ඔබේ මතකයට එන්නේ වීදුරු ආවරණ තුළ තබා ඇති, ස්පර්ශ කිරීමට තහනම්, නිශ්ශබ්ද වස්තූන් සමූහයක්. අප පුරුදු වී සිටින්නේ ඉතිහාසය දෙස “බැලීමට” පමණයි. නමුත් ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද, මීට වසර දහස් ගණනකට පෙර විසූ රජකුගේ මාලිගාවක හෝ ඩයිනසෝරයකු ගැවසී ගත් වනාන්තරයක සුවඳ කෙබඳු වන්නට ඇත්ද කියා?

වර්තමානයේ විද්‍යාඥයන් පවසන්නේ ඉතිහාසය යනු හුදෙක් ඇසින් බැලිය යුතු දෙයක් නොව, නාසයෙන් විඳිය යුතු අත්දැකීමක් බවයි. මේ හරහා බිහි වී ඇති අපූරු නවතම ක්ෂේත්‍රය වන්නේ “සංවේදී පුරාවිද්‍යාව” (Archaeology of the senses) යන්නයි. මෙහි දී ඉතිහාසඥයන්, රසායන විද්‍යාඥයන් සහ සුවඳ විලවුන් ශිල්පීන් එක් ව අතීතයේ සැඟවුණු ගන්ධයන් නැවත පණ ගන්වමින්, අපව “නාසය හරහා යන කාල තරණයක” රැගෙන යනවා.

ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ආචාර්ය බාබරා හියුබර් ඇතුළු පිරිසක් පුරාණ ඊජිප්තු මමීකරණ ක්‍රියාවලියේ දී භාවිත කළ ආලේපනවල සුවඳ නැවත නිර්මාණය කර තිබෙනවා. මෙය හුදු අනුමානයක් නොව, ක්‍රි.පූ. 1450 තරම් ඈත අතීතයට අයත් බඳුන්වල ඉතිරි ව තිබූ රසායනික අවශේෂ සියුම් ලෙස විශ්ලේෂණය කර ලබාගත් ප්‍රතිඵලයක්. මෙම සුවඳ මී පැණි වැනි මිහිරි ස්වභාවයකින් සහ පස්වල ඇති වැනි තද ගන්ධයකින් (earthy spices) යුක්ත වුව ද, එය “සම්පූර්ණයෙන් ම ප්‍රියජනක එකක්” නොවන බව ආචාර්ය හියුබර් පවසනවා.

ආචාර්ය හියුබර් මෙම අත්දැකීම විස්තර කරන්නේ මෙලෙසයි. “එය වියුක්ත ඉතිහාසය ස්පර්ශ කළ හැකි දෙයක් බවට පත් කරනවා. අතීතය යනු නිහඬ හෝ අගන්ධ තත්ත්වයක් නො වන බවත්, එය සංවේදී, ජීවමාන සහ බොහෝ විට තීව්‍ර එකක් වූ බවත් එය අපට මතක් කර දෙයි.”

ඉතිහාසය “නිහඬ හෝ වඳ” (sterile and silent) තත්ත්වයක් ලෙස දැකීම නූතන අපට එයින් දුරස් වීමට හේතු වනවා. නමුත් සුවඳක් දැනුණු සැණින් එම අතීතය අපේ සිරුරට ම දැනෙන, තීව්‍ර සහ ජීවමාන අත්දැකීමක් බවට පත්වනවා.

අතීතය ප්‍රතිනිර්මාණය කිරීමේ දී විද්‍යාඥයන් විවිධ මානයන් ඔස්සේ ගවේෂණය කර තිබෙනවා අතර, මෙහි දී ක්‍රමවේද දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි.

පළමු වැන්න විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයයි. දෙවන එලිසබෙත් රැජින භාවිතා කළ Rover P5B මෝටර් රථයේ ඇතුළත සුවඳ මෙයට කදිම උදාහරණයක්. එය රථය තුළ ඇති වාතය රසායනිකව විශ්ලේෂණය කරමින්, පැරණි වාහන එකතු කරන්නන්ගේ සාක්ෂි මත පදනම් ව ඉතා නිවැරැදි ව නිපදවා තිබෙනවා. බියකරු T. rex ඩයිනසෝරයාගේ ප්‍රාශ්වාස වායුවේ සුවඳ නිර්මාණය කර ඇත්තේ ද පොසිල සාක්ෂි සහ පාෂාණධාතු විද්‍යාඥයන්ගේ උපදෙස් මතයි.

දෙවැන්න කලාත්මක අර්ථකථනයයි. ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ පුස්තකාලයෙන් හමන සුවඳ සාරා මැකාට්නි නම් සුවඳ විලවුන් ශිල්පිනියගේ කලාත්මක නිර්මාණයක්. එහි පරණ වූ සම්, දුම්කොළ සහ චොකලට් මිශ්‍ර වැනිලා සුවඳක් අඩංගු වන අතර, එයින් එම පරිසරයේ තිබූ ගාම්භීර බව මනාව නිරූපණය කර දැක්වෙනවා.

1980 ගණන්වල ජෝර්වික් වයිකින්ග් මධ්‍යස්ථානයේ සුවඳ භාවිතා කළේ නරඹන්නන්ව මවිත කිරීමට හෝ “කම්පනයට” පත් කිරීමටයි. එය හුදෙක් නාට්‍යමය අත්දැකීමකට සීමා වුණා. නමුත් අද වන විට මෙම ක්ෂේත්‍රය “පර්යේෂණාත්මක කථාන්දර කීම” දක්වා දියුණු වී තිබෙනවා.

මෙම සුවඳ ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම හරහා පුරාණ ලෝකයේ වෙළඳ ජාලයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගත හැකියි. උදාහරණයක් ලෙස, ක්‍රි.පූ. 1450 දී ඊජිප්තු මමීකරණයට යොදාගත් ඇතැම් රෙසින් වර්ග ලෝකයේ කුමන ප්‍රදේශවලින් ආනයනය කළේ ද යන්න සොයා බැලීමෙන්, එකල පැවති ගෝලීය වෙළඳ සබඳතා පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සොයාගන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව බලන විට පෙනෙන්නේ අපේ උරුමය යනු ඇසට පෙනෙන දේ පමණක් නො වන බවයි. පෙනුමට පමණක් මුල්තැන දෙන ඉතිහාස කියවීම් වෙනුවට අපේ නාසයට දැනෙන සංස්කෘතික සුවඳවල් ද ආරක්ෂා කළ යුතු බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ගන්ධ ඉන්වෙන්ටරියක් සැකසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙය හුදු විද්‍යාඥයන්ට පමණක් සීමා වූ ව්‍යාපෘතියක් නො වීමයි. මතු පරපුර සඳහා ආරක්ෂා කර ගත යුතු සුවඳවල් මොනවා දැ යි හඳුනා ගැනීමට මහජනතාවට ද අවස්ථාව ලබා දී තිබෙනවා. ඔබ කැමතිම පැරණි කඩදාසිවල සුවඳ හෝ ඔබේ ගම්මානයට ආවේණික සුවඳක් අනාගතයේදී උරුමයක් ලෙස කෞතුකාගාරයක තැන්පත් වීමට මෙයින් ඉඩ ලැබෙනු ඇති.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications