Home Science News වසර හතරකට පසු සූර්ය මතුපිට ලපවලින් තොර වෙයි

වසර හතරකට පසු සූර්ය මතුපිට ලපවලින් තොර වෙයි

by Sathya

පසුගිය වසර හතරකට (දින 1,335 කට) පසු ප්‍රථම වතාවට සූර්යයාගේ මතුපිට කිසිදු සූර්ය ලපයක් වාර්තා නොවූ බව විද්‍යාඥයන් පවසනවා. පසුගිය පෙබරවාරි 22 වනදා සිට දින කිහිපයක් සූර්යයා මෙලෙස ‘නිහඬ’ ස්වභාවයක් පෙන්නුම් කළ අතර, මෙය සූර්ය ක්‍රියාකාරීත්වය අඩුවීමේ ලක්ෂණයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, මෙය සූර්යයාගේ සැබෑ ස්වභාවය නො වන බවත්, ඉදිරියේ දී ප්‍රබල සූර්ය කුණාටු ඇතිවීමේ අවදානම තවමත් පවතින බවත් විශේෂඥයන් අනතුරු අඟවනවා. 25 වන සූර්ය චක්‍රය (Solar Cycle 25) තවමත් අවසන් වී නොමැති අතර, මෙම ‘සන්සුන්’ කාලසීමාව තාවකාලික එකක් විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පෙබරවාරි 25 වන දා වන විට නැවතත් සූර්ය ලප දර්ශනය වීමට පටන් ගැනීම මෙයට කදිම නිදසුනක් වනවා.

පර්යේෂකයන් පවසන පරිදි, සූර්ය උපරිමයෙන් පසු එළඹෙන කාලය ‘සටන් කලාපයක්’ (battle zone) වැනි වන අතර, එහි දී සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ අස්ථාවරත්වය හේතුවෙන් වඩාත් විනාශකාරී භූ-චුම්බක කුණාටු ඇති විය හැකියි. 2024 අගෝස්තු මාසයේ දී සූර්ය ලප සංඛ්‍යාව වසර 23කට පසු ඉහළ ම මට්ටමට පැමිණි අතර, මෑතක දී ඇති වූ ප්‍රබල සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ GPS තාක්ෂණයට පවා බාධා එල්ල වුණා.

විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ 1859 වසරේ සිදුවූ Carrington Event හෙවත් ‘කැරිංටන් සිදුවීම’ වැනි ප්‍රබල සූර්ය කුණාටුවක් ඉදිරි දශකය තුළ ඇති වීමට සියයට 5ක සම්භාවිතාවක් ඇති බවයි. එවැනි සුළි කුණාටුවකින් පෘථිවියේ චන්ද්‍රිකා පද්ධතිවලට සහ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවිය හැකියි. එබැවින්, සූර්යයාගේ මතුපිට සන්සුන්ව පෙනුණ ද, පෘථිවියට එල්ල විය හැකි අවදානම පිළිබඳව තවදුරටත් විමසිලිමත් විය යුතු බව විශේෂඥයන් අවධාරණය කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications