Home Science News උණුසුම පරදා වාතයෙන් ජලය ලබා දෙන විස්මිත තීන්ත ආලේපනය

උණුසුම පරදා වාතයෙන් ජලය ලබා දෙන විස්මිත තීන්ත ආලේපනය

by Sathya

ලෝකය පුරා පවතින දැඩි උණුසුම සහ ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත් ව තිබෙනවා. ඒ ගොඩනැගිලි සිසිල් කරන අතරම වාතයෙන් ජලය රැස් කිරීමේ හැකියාව ද පවතින නවීන නැනෝ තාක්ෂණික තීන්ත ආලේපනයක් හඳුන්වා දීමෙන්.

Dewpoint Innovations ආයතනය මගින් හඳුන්වා දුන් මෙම ආලේපනය ‘නිෂ්ක්‍රීය විකිරණ සිසිලනය’ (passive radiative cooling) නම් ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක වනවා. මෙහි දී හිරු එළිය පරාවර්තනය කර තාපය නැවත අවකාශයට මුදා හැරීම මඟින් විදුලි බලය වැය නො කර ම ගොඩනැගිලි සිසිල් ව තබාගැනෙනවා.

මෙම ආලේපනය මඟින් සූර්ය ශක්තිය 96% දක්වා පරාවර්තනය කළ හැකි බවයි සිදුකරන ලද පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ. සාමාන්‍ය අඳුරු වහලකට වඩා සෙල්සියස් අංශක 30 කින් උණුසුම අඩු කිරීමට මෙයට හැකියාව අතර, ඉන් නිවාස සිසිල් කිරීමට වැයවන විදුලි පරිභෝජනය 34% කින් පමණ අඩු කරගත හැකි බව ද සොයාගෙන තිබෙනවා. මෙය නගරවල පවතින අධික උණුසුම හෙවත් ‘නාගරික තාප දූපත් ආචරණය’ (urban heat island effect) පාලනය කිරීමට මහඟු රුකුලක් වනු ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මෙම ආලේපනය මඟින් ගොඩනැගිලි සිසිල් ව තබා ගන්නා අතරතුර, එම සිසිල් මතුපිට මත වාතයේ ඇති තෙතමනය ඝනීභවනය වීම නිසා ජල බිංදු ඇති වනවා. වර්ග මීටර් 200 ක වහලකින් දිනකට ජලය ලීටර් 74 ක් පමණ රැස් කළ හැකි බව මුල් අදියරේ පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් ආර්ද්‍රතාවය 70% ට වඩා වැඩි සිංගප්පූරුව හෝ ඇමේසන් වැනි නිවර්තන කලාපීය රටවලට මෙය වඩාත් ඵලදායී වන බවයි පර්යේෂකයන් පවසන්නේ.

මෙලෙස රැස් කරගන්නා ජලය ගෙවතු වගා කටයුතුවලට මෙන් ම පෙරා පිරිසිදු කිරීමෙන් පසු පානීය ජලය ලෙස ද භාවිත කළ හැකිියි. මීට අමතර ව, නියඟ කාලවල දී වනසතුන්ට අවශ්‍ය ජලය සැපයීමට ද මෙම තාක්ෂණය යොදාගත හැකි බව පර්යේෂක මින්ග් චියු පවසනවා.

කෙසේ වෙතත්, මෙම විශේෂ තීන්ත වර්ගයේ මිල සාමාන්‍ය තීන්තවලට වඩා 50% සිට 100% දක්වා වැඩි විය හැකි බව සඳහන් වනවා. කාලයත් සමඟ මෙහි කල්පැවැත්ම සහ වලාකුළු සහිත කාලගුණය තුළ ක්‍රියාකාරිත්වය පිළිබඳව තවදුරටත් අවධානය යොමු වෙමින් පවතිනවා. ඉදිරියේ දී නගර නිර්මාණය කිරීමේ දී සහ ගොඩනැගිලි සැලසුම් කිරීමේ දී මෙම තාක්ෂණය අත්‍යවශ්‍ය අංගයක් වනු ඇතැයි “Dewpoint Innovations” සමාගම බලාපොරොත්තු වනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications