මීට පෙර ඉතිහාසඥයන් විශ්වාස කළේ ස්කාලට් උණ (Scarlet Fever) වැනි රෝග ඇමරිකානු මහාද්වීපයට පැමිණියේ යුරෝපීය ආක්‍රමණිකයන් සමඟ බවයි. කෙසේ වෙතත්, ඉතාලියේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් විසින් පවත්වන ලද නවතම ජානමය පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාවට පැමිණීමට සියවස් ගණනාවකට පෙර සිට ම මෙම බැක්ටීරියා ආසාදනය එහි ව්‍යාප්ත ව තිබූ බවයි.
විද්‍යාඥයන් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ වර්තමාන බොලිවියාවේ උස් සානු ප්‍රදේශයක ජීවත් වූ පිරිමි පුද්ගලයෙකුගේ මමීකෘත හිස්කබලක තිබූ දතක් ඇසුරින්. මෙම පුද්ගලයා ක්‍රි.ව. 1283 සහ 1383 අතර කාලයේ, එනම් කොලොම්බස් 1492 දී ඇමරිකාවට ගොඩබැසීමට බොහෝ කලකට පෙර ජීවත් වූ අයෙක්. මෙම දතෙහි තිබී හමු වූ Streptococcus pyogenes බැක්ටීරියාවේ DNA කොටස් විශ්ලේෂණය කිරීමේ දී ස්කාලට් උණ රෝගය සඳහා වගකියන ව්‍යාධිජනක ජාන රැසක් හඳුනාගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙම බැක්ටීරියාව වසර 22,000 කට පමණ පෙර බෙරිං සමුද්‍ර සන්ධිය හරහා ඇමරිකාවට පැමිණි මුල්ම මානව සංක්‍රමණිකයන් මඟින් පැමිණෙන්නට ඇති බවයි. “මිනිස් සංක්‍රමණයන් සමඟ මෙම බැක්ටීරියාව ලොව පුරා ව්‍යාප්ත වන්නට ඇති බවට සාක්ෂි තිබෙනවා” යැයි විද්‍යාඥයෝ පවසනවා. සයිබීරියාව මෙම ව්‍යාප්තියේ ප්‍රධාන ද්වාරයක් වන්නට ඇතැ යි ද ඔවුන් විශ්වාස කරනවා.
ස්කාලට් උණ, සරම්ප සහ වසූරිය වැනි රෝග ඉතිහාසගත ව හැඳින්වූයේ යුරෝපීයයන් විසින් රැගෙන ආ ‘දේශසීමා රෝග’ (Frontier diseases) ලෙසයි. නමුත් මෙම නව සොයාගැනීමත් සමඟ එම මතය සරල වැඩි බව පෙනී යනවා. මීට පෙර සිදුකළ පර්යේෂණවලින් ද පෙනී ගොස් ඇත්තේ සීතල සමාජ රෝගය හෙවත් සිපිලිස් (Syphilis) සහ ලාදුරු (Leprosy) වැනි රෝග ද යුරෝපීය සබඳතාවලට පෙර සිට ම ඇමරිකාවේ පැවති බවයි.
මෙම පර්යේෂණය සඳහා භාවිත කළ පැරණි DNA කොටස් ඉතා කුඩා සහ වියැකී තිබූ ඒවා වන බැවින් යුරැක් (Eurac) ආයතනයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මොහොමඩ් සර්හාන් පවසන්නේ මෙය “පෙට්ටිය මත ඇති රූපය නො දැන ප්‍රහේලිකාවක් විසඳීම වැනි” අසීරු කාර්යයක් වූ බවයි. මීට පෙර විද්‍යාඥයන් විසින් බැහැර කරන ලද දිගු DNA අනුක්‍රමයන්, නව රසායනික විශ්ලේෂණ ක්‍රමවේද හරහා එම යුගයට ම අයත් බව තහවුරු කිරීමට මෙම කණ්ඩායම සමත් ව තිබෙනවා.
නූතන ප්‍රතිජීවක ඖෂධ නිසා ස්කාලට් උණ අතීතයේ මෙන් මාරාන්තික රෝගයක් නො වන නමුත්, වර්තමානයේ පවතින බැක්ටීරියා ප්‍රභේද ප්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගනිමින් පවතිනවා. එබැවින් මෙම බැක්ටීරියාවේ පරිණාමය අධ්‍යයනය කිරීම අනාගත වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් වනු ඇති බව නො අනුමානයි.
මෙම සුවිශේෂී පර්යේෂණය Nature Communications ජර්නලයේ ඉකුත් දා ප්‍රකාශයට පත් කර තිබුණා.