Home Science News ටිම් කුක් Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් වෙයි

ටිම් කුක් Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් වෙයි

by Sathya

ස්ටිව් ජොබ්ස් යුගයෙන් පසු Apple සමාගම මෙහෙයවමින් ‍එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ටිම් කුක්, එම තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමාගමේ දෘඪාංග ඉංජිනේරුකරණ උපසභාපති ලෙස කටයතු කරන ජෝන් ටර්නස් එලැඹෙන සැප්තැම්බර් 1 දා සිට ටිම් කුක්ගෙන් හිස් වන ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි වැඩ බාරගැනීමට නියමිතයි. කුක්, ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපතිවරයා බවට පත්වනු ඇති අතර, මෙම තනතුරු මාරුවීම සුමට ව සිදු කිරීම සහතික කරනු වස් ඔහු ගිම්හාන කාලය අවසන් වන තෙක් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රැඳී සිටින බව සමාගම නිවේදනය කළා.

“Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වීම සහ මෙවැනි සුවිශේෂී සමාගමකට නායකත්වය දීම සඳහා මා කෙරෙහි විශ්වාසය තැබීම, මාගේ ජීවිතයේ ලද ඉහළ ම වරප්‍රසාදයයි,” යනුවෙන් කුක් මාධ්‍ය නිවේදනයක් මඟින් පවසා සිටියා.

මෙම පුවත වාර්තා වන්නේ 2025 වසරේ අගභාගයේ දී Apple සමාගමේ විධායක මට්ටමේ තනතුරුවල සිදු වූ වෙනස්කම් මාලාවක් මධ්‍යයේයි. එහි කෘත්‍රිම බුද්ධි අංශ ප්‍රධානියා, ප්‍රතිපත්ති ප්‍රධානියා සහ ඉහළ පෙළේ නිර්මාණ අංශ ප්‍රධානියෙකුගේ ඉවත් ව යාම ද මීට කෙටි කලකට පෙර සිදු වුණා.

සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) ලෙස සේවය කිරීමෙන් අනතුරුව 2011 වසරේ දී එහි ප්‍රධාන විධායක නිලධාරියා (CEO) බවට පත් වූ කුක්, Apple සමාගම මුලින් ප්‍රකට ව සිටි මැක් (Mac), අයිපොඩ් (iPod) සහ අයිෆෝන් (iPhone) වැනි නිෂ්පාදන අතලොස්සෙන් ඔබ්බට ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. කුක්ගේ නායකත්වය යටතේ, විනෝදාස්වාදය, සෞඛ්‍යය සහ පැළඳිය හැකි තාක්ෂණික උපාංග වැනි නව ක්ෂේත්‍ර ඔස්සේ ද ඇපල් සමාගම ප්‍රමුඛයෙකු බවට පත් ව තිබුණා. කොවිඩ්-19 වසංගතය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති මෙන් ම චීනය සමඟ වූ වෙළෙඳ යුද්ධය වැනි Apple සමාගම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ ලෝක ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවන් හරහා දිගු දැක්මකින් යුතු ව මඟපෙන්වීමට සමත් වූ සාර්ථක නායකයෙකු ලෙස ද ඔහු හඳුන්වා දිය හැකියි.

ස්ටීව් ජොබ්ස් iPhone හඳුන්වා දුන් නමුත්, Apple Watch හි සිට AirPods සහ Apple TV+ දක්වා වූ අනෙකුත් ජනප්‍රිය නිෂ්පාදන දියත් කිරීමේ වේදිකාවක් බවට Apple සමාගම ගෙන එනු ලැබුණේ කුක් විසිනුයි. Apple සමාගම ඩොලර් ට්‍රිලියන 4ක දැවැන්ත ආර්ථිකයක් හිමි සමාගමක් දක්වා වර්ධනය වීමට කුක්ගේ නායකත්වය සාධනීය ලෙස හේතු පාදක වී තිබෙනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications