Home Science News අත්ලාන්තික් සාගර දියවැල් පද්ධතිය බිඳවැටීමේ අවදානම ඉහළ යයි

අත්ලාන්තික් සාගර දියවැල් පද්ධතිය බිඳවැටීමේ අවදානම ඉහළ යයි

by Sathya

ලෝක දේශගුණික පද්ධතියේ තීරණාත්මක සාධකයක් වන අත්ලාන්තික් සාගරයේ දියවැල් පද්ධතිය (AMOC) බිඳවැටීමේ අවදානම මීට පෙර ගණන් බලා තිබූ මට්ටමට වඩා බෙහෙවින් වැඩි බව නවතම විද්‍යාත්මක පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මෙම බිඳවැටීම සිදු වුවහොත් එය යුරෝපය, අප්‍රිකාව සහ ඇමරිකානු මහාද්වීපවලට ව්‍යසනකාරී බලපෑම් ඇති කරනු ඇති බවයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම Atlantic meridional overturning circulation හෙවත් AMOC දියවැල් පද්ධතිය දැනටමත් පසුගිය වසර 1,600ක කාලය තුළ දක්නට ලැබුණු දුර්වල ම මට්ටමට පත් ව තිබෙනවා. මීට පෙර විද්‍යාඥයන් මෙවැනි බිඳවැටීමක සම්භාවිතාව 5%ක් පමණ වෙතැ යි විශ්වාස කළ ද, නව දත්තවලට අනුව එය 50%කට වඩා වැඩි අගයක් ගන්නා බව පෝට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ස්ටෙෆාන් රාම්ස්ටෝෆ් පවසනවා.

මෙම දියවැල් පද්ධතිය බිඳවැටුණහොත් ඇති විය හැකි බලපෑම් කිහිපයක් පර්යේෂකයන් පෙන්වා දෙනවා. මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන නිවර්තන වැසි කලාප වෙනස් වීම සහ බටහිර යුරෝපය අතිශය දරුණු ශීත සෘතුවලට සහ ගිම්හාන නියං තත්ත්වයන්ට ගොදුරු වීම ඒ අතර වනවා. අත්ලාන්තික් සාගරය අවට මුහුදු මට්ටම දැනට පවතින ප්‍රමාණයට වඩා සෙන්ටිමීටර 50 සිට 100 දක්වා ඉහළ යාම ද එයින් සිදුවනවා.

Science Advances ජර්නලයේ පළ වූ මෙම පර්යේෂණයට අනුව, 2100 වසර වන විට මෙම දියවැල් වේගය 42% ත් 58% ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බව ගණන් බලා තිබෙනවා. පර්යේෂණය මෙහෙයවූ ආචාර්ය වැලන්ටින් පෝට්මන් පවසන්නේ, දේශගුණික ආකෘති පරීක්ෂා කිරීමේ දී වඩාත් යථාර්ථවාදී ආකෘති මඟින් පෙන්වා දෙන්නේ පෙර අපේක්ෂා කළාට වඩා වේගයෙන් මෙම පද්ධතිය බිඳවැටීම කරා ගමන් කරන බවයි.

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ආක්ටික් කලාපයේ වායුගෝලීය උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් පවතිනවා. මේ නිසා සාගර ජලය සිසිල් වීමේ වේගය අඩුවන අතර, එමඟින් ජලය ගැඹුරු මුහුදට ගිලී යාමේ ක්‍රියාවලිය අඩාල වනවා. මීට අමතර ව, ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීමෙන් එකතු වන මිරිදිය ජලය ද මෙම තත්ත්වය තවදුරටත් දරුණු කිරීමට හේතු වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මෙම සියවසේ මැද භාගය වන විට, එනම් තවත් දශක කිහිපයකින්, මෙම දියවැල් පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කළ නො හැකි ලෙස බිඳවැටීමේ තීරණාත්මක සන්ධිස්ථානය පසු කිරීමට ඉඩ ඇති බවයි. ඔවුන් පවසන්නේ මෙය මනුෂ්‍ය වර්ගයා මුහුණදීමට නියමිත අතිශය භයානක දේශගුණික අවදානමක් බවයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications