පිටසක්වළ ජීවීන් පිළිබඳ පුවත් ලොවට හෙළි කරන ආකාරය ගැන නව මාර්ගෝපදේශ මාලාවක්

පිටසක්වළ බුද්ධිමත් ජීවීන්ගෙන් යම් සංඥාවක් ලැබුණහොත් එය ලෝකයට හෙළි කරන ආකාරය සම්බන්ධයෙන් නවතම මාර්ගෝපදේශ මාලාවක් තාරකා විද්‍යාඥයින් සහ පිටසක්වළ ජීවය සොයන පර්යේෂකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. අනාගතයේ දිනක මෙවැනි ඓතිහාසික සොයාගැනීමක් සිදුවුවහොත්, එමඟින් ලෝකය තුළ ඇතිවිය හැකි කලබලය, වැරදි තොරතුරු සමාජගත වීම සහ ව්‍යාකූලත්වය වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම නව නීති මාලාව 2010 වසරේ දී හඳුන්වා දුන් මාර්ගෝපදේශවල නවතම යාවත්කාලීන කිරීමක් ලෙස එළිදක්වා තිබෙනවා. පසුගිය වසර 15ක කාලය තුළ සමාජ මාධ්‍ය අතිශය වේගයෙන් ව්‍යාප්ත වී ඇති බැවින්, අසත්‍ය හෝ තහවුරු නො කළ තොරතුරු ක්ෂණික ව පැතිර යාමේ අවදාන තිබෙනවා. මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල වී කලින් කෙරෙන වැරැදි ප්‍රකාශ (premature announcements) නිකුත් වීම වළක්වා, වඩාත් විනිවිදභාවයකින් යුතු ව සැබෑ තොරතුරු පමණක් ලෝකයා වෙත ගෙන යාම විද්‍යාඥයින්ගේ අපේක්ෂාවයි. ජොඩ්‍රෙල් බෑන්ක් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ ඇකඩමියේ (IAA) SETI කමිටුවේ සභාපති මහාචාර්ය මයිකල් ගැරට් පෙන්වා දෙන්නේ, පිටසක්වළ ජීවයක් ගැන අපේක්ෂාවෙන් නො සිටින, වෙනත් අභ්‍යවකාශ ගවේෂණවල යෙදෙන පර්යේෂකයෙකුට වුව ද හදිසියේ මෙවැනි සොයාගැනීමක් හමුවිය හැකි බැවින් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙම පෙර සූදානම ඉතා වැදගත් බවයි.

මෙම නව මාර්ගෝපදේශය මඟින් දැඩිව අවධාරණය කෙරන ප්‍රධාන කරුණක් වන්නේ සාක්ෂි සහ දත්ත නිසි පරිදි තහවුරු කිරීමයි. ඒ අනුව, ඕනෑ ම සැක සහිත සංඥාවක් ප්‍රසිද්ධ කිරීමට පෙර එය දැඩි ලෙස සත්‍යාපනය කළ යුතු අතර, එම වාර්තා සමකාලීන විද්‍යාඥයින්ගේ සමාලෝචනයට ලක් වීමෙන් පසු ව පමණක් මහජනතාවට විවෘත කළ යුතුයි. “අසාමාන්‍ය ප්‍රකාශ සඳහා අසාමාන්‍ය සාක්ෂි අවශ්‍ය වේ” යන විද්‍යාත්මක මූලධර්මය මත පදන ම්ව, පූර්ණ විනිවිදභාවයකින් යුතු ව නිවැරැදි හා අවංක තොරතුරු සන්නිවේදනය කිරීම මෙහි දී අනිවාර්ය කර තිබෙනවා.

මීට අමතර ව, පෘථිවියෙන් පිටත සිටින බුද්ධිමත් ජීවීන්ට අපගෙන් යම් ප්‍රතිචාරයක් දක්වන්නේ නම්, එය සමස්ත මානව වර්ගයාටම බලපාන තීරණයක් බැවින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පුළුල් ජාත්‍යන්තර එකඟතාවකින් පසු ව පමණක් එය සිදු කළ යුතු බවට මෙම මාර්ගෝපදේශ මඟින් යෝජනා කර තිබෙනවා. එමෙන් ම, මෙවැනි ඓතිහාසික සොයාගැනීමක් සිදුකරන පර්යේෂකයින්ට එල්ල විය හැකි දැඩි මාධ්‍ය බලපෑම් හමුවේ ඔවුනට මාධ්‍ය සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇති බවත්, අදාළ ආයතන විසින් එම විද්‍යාඥයින්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීමට පියවර ගත යුතු බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

පිටසක්වළ ජීවයක් සොයාගැනීමක් යනු මානව ඉතිහාසයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවට විවාදයක් නැහැ. එබැවින් වගකීමෙන් යුතු ව විද්‍යාත්මක සොයාගැනීම් ගෝලීය ව බෙදාගැනීමේ අවශ්‍යතාවය මෙම නව මාර්ගෝපදේශ මාලාව මඟින් මැනවින් තහවුරු කර තිබෙනවා.

Related posts

MAVEN අඟහරු චන්ද්‍රිකාව අවසන් ගමන් යයි

හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක්

බ්‍රිතාන්‍ය පැරාලිම්පික් ක්‍රීඩක ජෝන් මැක්ෆෝල් කක්ෂගත වන ප්‍රථම ආබාධ සහිත ගගනගාමියා වීමේ සූදානමින්