Home Science News M87 කළු කුහරයේ විකිරණ ධාරාවක නවතම තොරතුරු ග්‍රහණය කරගනී

M87 කළු කුහරයේ විකිරණ ධාරාවක නවතම තොරතුරු ග්‍රහණය කරගනී

by Sathya

මානව ඉතිහාසයේ පළමුවරට ඡායාරූපයට නැගූ සුපිරි කළු කුහරය (Supermassive black hole) වන M87 වෙතින් අභ්‍යවකාශයට විහිදෙන ප්‍රබල පදාර්ථ සහ විකිරණ ධාරාවක මෙතෙක් ලබාගත් වඩාත් ම සවිස්තරාත්මක එක්ස්-කිරණ දත්ත ලබාගැනීමට NASA ආයතනයේ එක්ස්-කිරණ අභ්‍යවකාශ දුරදක්නයක් සමත් ව තිබෙනවා.

“අපට මීට පෙරත් මෙම ධාරාවේ වෙනස්කම් දැකගත හැකි වු වද, එක්ස්-කිරණ හරහා මෙතරම් පැහැදිලි සවිස්තරාත්මක තොරතුරු මීට පෙර කිසිදිනෙක ලැබී නැහැ” යනුවෙන් පර්යේෂකයන් පවසනවා.

M87 කළු කුහරය පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් ඇතිවූයේ 2019 වසරේදීයි. ඒ Event Horizon Telescope (EHT) ව්‍යාපෘතිය මඟින් කළු කුහරයක පළමු ඡායාරූපය ලෙස එහි දසුනක් ලොවට හෙළිදරව් කිරීමත් සමඟින්. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55ක් පමණ දුරින් පිහිටා ඇති මෙම කළු කුහරය, අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 6.5 ගුණයක අතිවිශාල ස්කන්ධයකින් යුක්ත වනවා. එය මේ වන විටත් තමා අවට ඇති වායු හා දූවිලි අතිශය ගිජු ලෙස ගිලදමමින් සිටිනවා.

කළු කුහරය වෙත පදාර්ථ ඇද වැටෙන විට, එම ද්‍රව්‍යවලින් කොටසක් කළු කුහරයේ ධ්‍රැව දෙසට ගමන් කර ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යවකාශයට මුදා හැරෙනවා. ආලෝක වර්ෂ දහස් ගණනක් දුරට විහිදෙන මෙම ප්‍රබල ධාරාවන් මීට පෙර දෘශ්‍ය සහ අධෝරක්ත පෙරහන්වලින් නිරීක්ෂණය කර තිබුණ ද, මෙම නව එක්ස්-කිරණ දත්ත මඟින් එහි වඩාත් ගතික හා සංකීර්ණ ස්වභාවයකින් යුතු බව අනාවරණය කර තිබෙනවා.

මෙම නිරීක්ෂණ හරහා මීට පෙර එකට එකතු වී ඇති බවක් පෙනුණු ව්‍යුහයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙන අතර, දශකයකට වැඩි කාලයක් පුරා මෙම විකිරණ ධාරාවේ සිදුවන පරිණාමය වඩාත් නිවැරදි ව අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින්ට අවස්ථාව සැලසී තිබෙනවා.

මෙහි දී අනාවරණය වූ තවත් අපූරු කරුණක් නම්, මෙම ධාරාවේ ඇති ඇතැම් කොටස් ආලෝකයේ වේගය මෙන් පස් ගුණයක (5x) වේගයකින් ගමන් කරන බවක් පෙනී යාමයි. කෙසේ වෙතත්, මෙය භෞතික විද්‍යා නීති උල්ලංඝනය කිරීමක් නො වන බව විද්‍යාඥයෝ පැහැදිලි කරනවා. මෙය “සුපර්ලුමිනල් චලිතය” (superluminal motion) ලෙස හැඳින්වෙන අතර, එය ආලෝකයට ආසන්න වේගයකින් ගමන් කරන පදාර්ථයන් සෘජු ව ම පෘථිවිය දෙසට පැමිණීමේ දී ඇතිවන ‘දෘශ්‍ය මායාවක්’ පමණයි.

මෙම දැවැන්ත කළු කුහර අවට පරිසරයට නැවත ශක්තිය මුදාහරින්නේ මෙවැනි ප්‍රබල විකිරණ ධාරාවන් හරහායි. එබැවින් මෙම නව එක්ස්-කිරණ නිරීක්ෂණ, විශ්වයේ සිටින මෙම යෝධ වස්තූන් තම මව් මන්දාකිණිවල පරිණාමයට හා හැඩගැස්මට බලපෑම් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව වඩාත් පුළුල් හා නිවැරැදි චිත්‍රයක් ගොඩනැගීමට අතිශයින් වැදගත් වනු ඇති බව විද්‍යාඥයන් පවසනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications