Home Science News නව Air Force One යානයක් සේවයට එක් කෙරේ

නව Air Force One යානයක් සේවයට එක් කෙරේ

by Sathya

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා (ජුනි 19) මේරිලන්ඩ් හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් කඳවුරේ දී ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන නව Air Force One ගුවන් යානය නිල වශයෙන් එළිදක්වන උත්සවයට එක් වුණා. Boeing 747-8i මාදිළියට අයත් මෙම සුඛෝපභෝගී ගුවන් යානය කටාර් රාජ්‍යය විසින් ඇමරිකාවට ලබා දුන් ත්‍යාගයක් වීම විශේෂත්වයක්.

ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනා මෙම ගුවන් යානය, ඇමරිකානු රජය විසින් ඇණවුම් කර ඇති නව ජනාධිපති ප්‍රවාහන ගුවන් යානා 2027 සහ 2028 වසරවල දී ලැබෙන තෙක් ‘අතරමැදි’ ගුවන් යානයක් ලෙස භාවිත කිරීමට නියමිතයි. කටාර් රාජ්‍යයෙන් ලැබුණු මෙම යානය ජනාධිපතිවරයාගේ භාවිතයට සුදුසු පරිදි ආරක්ෂිත ව සහ සුවිශේෂී තාක්ෂණයෙන් යුතු ව නවීකරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගුවන් යානය ත්‍යාගයක් ලෙස භාරගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව තුළ යම් දේශපාලනික සහ ආචාරධාර්මික ආන්දෝලනයක් ද ඇති වී තිබෙනවා. ඊට හේතුව වන්නේ, එය විදෙස් රාජ්‍යයකින් ලැබෙන ත්‍යාග සඳහා වන වාර්ෂික ඩොලර් 50ක සීමාව විශාල වශයෙන් ඉක්මවා යාමයි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් එම විවේචන ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙවැනි වටිනා ත්‍යාගයක් ප්‍රතික්ෂේප කිරීම “මෝඩකමක්” බවයි. කටාර් රජුට සිය ස්තූතිය පුද කළ ට්‍රම්ප් ඔහු “විශිෂ්ට පුද්ගලයෙක්” ලෙස ද හැඳින්වූවා.

“මෙම යානය පියාසර කරන ධවල මන්දිරයක් බවට පත්කර තිබෙනවා. මෙහි ඇති සුඛෝපභෝගීත්වය ලොව කිසිවෙකුත් මින් පෙර දැක නැති තරම්. මෙය ලොව සුඛෝපභෝගී ම ගුවන් යානය ලෙස සැලකිය හැකියි,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහි දී අදහස් දක්වමින් සඳහන් කළා.

කෙනඩි යුගයේ සිට ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිත කළ Air Force One යානාවල තිබූ ලා නිල් (robin’s egg blue) පැහැය වෙනුවට, මෙම නව යානය සඳහා තද නිල්, රතු, රන් සහ සුදු වර්ණ යොදාගෙන වර්ණගන්වා තිබෙනවා. මෙම වර්ණ රටාව ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයේ වර්ණ රටාවට බොහෝ සෙයින් සමාන වන අතර, එහි අභ්‍යන්තරය මිල අධික සම් ආසන, සුඛෝපභෝගී බුමුතුරුණු සහ දැවමය නිමාවන්ගෙන් සමන්විත වනවා.

ලබන ජූලි 4 වැනි දාට යෙදෙන ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සැමරුමට සමගාමී ව වොෂින්ටන් නගරයට ඉහළින් සිදුකරන දැවැන්ත ගුවන් සංදර්ශනයට ද මෙම නව යානය එක්වීමට නියමිත අතර, ලබන මාසයේ තුර්කියේ පැවැත්වෙන NATO සමුළුව සඳහා ට්‍රම්ප් සහභාගී වනු ඇත්තේ ද මෙම නව යානයෙන්.

මේ අතර 1990 වසරේ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිට මේ දක්වා ම ජනාධිපතිවරුන් ප්‍රවාහනය කළ පැරණි ‘Air Force One’ ගුවන් යානයක්, ප්‍රංශයේ පැවති G7 සමුළුවට ට්‍රම්ප් රැගෙනගොස් පැමිණීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා නිල වශයෙන් විශ්‍රාම ගන්වනු ලැබුණා. එය ඉදිරියේ දී කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications