බ්‍රසීලයට ඔබ්බෙන් මුහුදේ නව සාගර ජීව විශේෂ 31ක් සොයාගැනේ

බ්‍රසීල වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිදු කළ සාගර ජීව විද්‍යාත්මක ගවේෂණයක දී, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව සාගර ජීවී විශේෂ 31ක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් ව තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් නව විශේෂ ප්‍රමාණයක් සොයා ගැනීම සහ හඳුනා ගැනීම නව වාර්තාවක් විය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.

Schmidt Ocean Institute හි මෙහෙයවීම යටතේ Falkor too නම් පර්යේෂණ නෞකාව විසින් මෙම ගවේෂණය සිදු කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ ජපානය යන රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර විශේෂඥයින් විසි හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට සහභාගී වී සිටියා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ සාගරයේ මැද ස්තරයයි (ocean midwater). එනම් සාගර පත්ල සහ හිරු එළිය වැටෙන මතුපිට ස්තරය අතර පිහිටි අඳුරු කලාපයයි. පෘථිවියේ ජීවත් වීමට සුදුසු අවකාශයෙන් 90%ක් පමණ ආවරණය කරන මෙම කලාපය, ලෝකයේ විශාලතම මෙන් ම තවමත් නිසි පරිදි ගවේෂණයට ලක් නොවූ වාසස්ථානයක් ලෙස සැලකෙනවා.

මෙම ගවේෂණයේ දී සොයාගත් නව විශේෂ 31 අතර විවිධ වූ අපූරු සාගර ජීවීන් රැසක් අයත් වනවා. ඒ අතරට කකුළුවන්ට සහ පොකිරිස්සන්ට නෑකම් කියන ‘ඇම්ෆිපොඩ්’ (amphipod) විශේෂයක්, වේගයෙන් ගමන් කරන පණුවෙකු (gossamer worm), ජෙලිෆිෂ් (jellyfish) විශේෂ නවයක් මෙන් ම කොරල්පර හා ජෙලිෆිෂ් ගණයට අයත් සයිෆොනොෆෝර් (siphonophores) විශේෂ හතක් ඇතුළත් වනවා. ඊට අමතර ව, දීප්තිමත් පිහිනුම් අවයව සහිත කෝම්බ් ජෙලි (comb jellies/ctenophores) විශේෂ හතක්, අපෘෂ්ඨවංශීන්ට වඩා මිනිසුන්ට සමීප බවක් දක්වන ලාර්වේශියානු (larvaceans) විශේෂ හතරක් සහ පියවි ඇසට පෙනෙන තරම් විශාල ඒකසෛලික ජීවීන් (giant rhizarians) දෙදෙනෙකු ද මෙම නව සොයාගැනීම් අතරට එක් ව තිබෙනවා.

මෙම සොයාගැනීම් ඉතා ඉක්මනින් සිදු කිරීමට නවීන තාක්ෂණය විශාල පිටිවහලක් වූ බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙහි දී අතිවිශේෂ වන්නේ ‘ස්ක්විඩ්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේසර් කිරණ සහිත විශේෂිත අන්වීක්ෂයක් නෞකාවක් මත ප්‍රථම වතාවට භාවිත කිරීමයි. සාමාන්‍යයෙන් ජීවියෙකුගේ සෛලීය ව්‍යුහය නිරීක්ෂණය කිරීම සඳහා රසායනාගාරයක් තුළ සති ගණනාවක් ගත වන නමුත්, මෙම නව තාක්ෂණය හරහා ජීවීන්ගේ 3D සෛලීය ව්‍යුහය සජීවී ව සහ ක්ෂණික ව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ආචාර්ය කැරන් ඔස්බෝන් පවසන පරිදි සාගරයේ මැද ස්තරය යනු අප එතරම් නො දන්නා විස්මිත සතුන්ගෙන් පිරුණු ස්ථානයක්. මෙම කලාපය මින් පෙර ගවේෂණය කර නො තිබූ නිසා නව විශේෂ සොයා ගැනීමට වැඩි අවස්ථාවක් තිබූ බවත්, කෙටි කාලයක් තුළ නව සතුන් සොයා ගැනීම අතින් මෙය නව වාර්තාවක් විය යුතු බවත් ඇය ප්‍රකාශ කරනවා. සාගර ජීවීන් රාත්‍රී කාලයේ දී ආහාර සොයා මතුපිටට පැමිණීම සහ නැවත ගැඹුරු මුහුදට යාම, සාගරය මඟින් කාබන් උරාගැනීමේ ක්‍රියාවලියට විශාල බලපෑමක් කරන බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. මිනිසුන් විසින් මෙතෙක් සාගරය ගැන සොයාගෙන ඇත්තේ ඉතා කුඩා කොටසක් පමණක් බවත්, ඉදිරියේ දී මෙවැනි සහයෝගීතා පර්යේෂණ තවදුරටත් සිදු කළ යුතු බවත් ගවේෂණ කණ්ඩායම වැඩිදුරටත් අවධාරණය කරනවා.

Related posts

ක්ෂීරපථ මන්දාකිනියේ හදවත යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇසින්

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සාගරයට පතිත කිරීමේ සැලසුම ගැන පරිසර විශේෂඥයන්ගේ විරෝධය

වඳ වී යාමේ අබිමුව සිටින ‘වකිටා’ සත්වයා සුරැකීමට නවීන ඩිජිටල් තාක්ෂණය අත්වැලක් වෙයි