SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

SpaceX සමාගමට අයත් Falcon 9 රොකට්ටුවක ඉහළ අදියරේ කොටසක් අද පස්වරුවේ සඳ මතුපිටට කඩා වැටීමට නියමිතව තිබෙනවා. අපේක්ෂා කෙරෙන්නේ මෙම ගැටුමෙන් සඳ මතුපිට මීටර් 27ක පමණ පළලින් යුත් ආවාටයක් නිර්මාණය වනු ඇති බවයි.

මෙම අභ්‍යවකාශ සුන්බුන් කොටස සඳ මත ගැටීම අගෝස්තු මස 05 වන බදාදා, එනම් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12:05 ට පමණ (0635 GMT) සිදුවීමට නියමිතයි.

මෙම Falcon 9 රොකට්ටුව අභ්‍යවකාශයට දියත් කෙරුණේ 2025 වසරේ ජනවාරි මාසයේ දීයි. එහි අරමුණ වූයේ Firefly Aerospace සමාගමේ ‘Blue Ghost’ සහ ජපානයේ ispace සමාගමේ ‘Resilience’ යන පුද්ගලික චන්ද්‍ර ලෑන්ඩර් යානා ද්විත්වය සඳ වෙත දියත් කිරීමයි. සාමාන්‍යයෙන් Falcon 9 රොකට්ටුවල පළමු අදියර නැවත භාවිත කළ හැකි වුව ද, ඉහළ අදියර (upper stage) භාවිත කෙරෙන්නේ එක් වරක් පමණයි.

බොහෝ විට මෙහෙයුම අවසානයේ දී මෙම රොකට් කොටස් පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී ගිය ද, මෙම මෙහෙයුමේ දී චන්ද්‍ර ලෑන්ඩර් යානා ඉතා දුරින් පිහිටි කක්ෂයකට මුදා හැරීමට සිදු වීම මත රොකට්ටුවේ තිබූ ඉන්ධන බොහෝ දුරට අවසන් වී තිබුණා. ඒ හේතුවෙන් කිලෝග්‍රෑම් 4,000ක් පමණ බරැති රොකට්ටුවේ ඉහළ කොටස පෘථිවියට ඉහළින් වූ කක්ෂයක අතහැර දැමීමට SpaceX සමාගමට සිදුවුණා.

පසුගිය මාස 18 ක පමණ කාලය පුරා පෘථිවිය වටා සැරිසැරූ මෙම රොකට් කොටස සඳ වෙත ගමන් කිරීමට පටන් ගත්තේ කෙසේ දැ යි බොහෝ දෙනෙකුට ගැටලුවක් ව තිබුණු අතර, SpaceX සමාගමේ නියෝජිත ජුලියානා ෂයිමන් පවසන පරිදි, රඳවා තිබූ කක්ෂයේ වූ සූර්ය ක්‍රියාකාරකම් සහ ගුරුත්වාකර්ෂණ බලපෑම්වල එකතුවක් හේතුවෙන් රොකට්ටුවේ ගමන් පථය ස්වභාවික ව ම වෙනස් වී එය සඳ දෙසට ඇදී යාමට පටන් ගෙන තිබෙනවා.

මෙම ගැටීම සිදුවන්නේ සඳෙහි හිරු එළිය වැටෙන ප්‍රදේශයට බැවින්, පෘථිවියේ සිටින බොහෝ නිරීක්ෂකයින්ට මෙය සෘජු ව ම දැකගැනීමට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත්, මෙය අභ්‍යවකාශ සුන්බුන් මඟින් NASA ආයතනයේ Artemis ඉදිරි මෙහෙයුම් සහ අනාගත චන්ද්‍ර මධ්‍යස්ථානවලට සහ ගගනගාමීන්ට ඇති විය හැකි අවදානම අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින්ට කදිම අවස්ථාවක් සපයනවා.

රොකට් කොටස් සඳ මතට කඩා මෙසේ සිදුවන්නේ පළමු වරට නොවෙයි. මීට පෙර NASA ආයතනයේ Apollo මෙහෙයුම්වලට අයත් Saturn V රොකට්වල කොටස් කිහිපයක් ම සඳ මත ගැටී තිබෙනවා. එසේ ම, 2014 දී දියත් කළ චීනයේ Long March 3C රොකට්ටුවක ඉහළ කොටසක් 2022 මාර්තු මාසයේ දී සඳ මත ගැටී මෙන් අපූරු ද්විත්ව ආවාටයක් ද නිර්මාණය වී තිබුණා.

Related posts

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි

2029 දී චීනයෙන් සඳට ගෙන යන අප්‍රිකාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම