ලොව පුරා පිහිටි ජලාශවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් 2060 වසර වන විට රොන්මඩ සහ අවසාදිත පිරී යාම හේතුවෙන් ක්‍රියාකාරීත්වයෙන් අඩාල වීමේ හෝ සම්පූර්ණයෙන් ම අක්‍රිය වීමේ අවදානමක් පවතින බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. චීනයේ විද්‍යා ඇකඩමියට අයත් නැන්ජිං භූගෝලීය සහ ලිම්නොලොජි ආයතනයේ මහාචාර්ය සොන්ග් චුන්කියාඕගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද මෙම අධ්‍යයනය මඟින් පෙන්වා දෙන්නේ මෙය බිලියන දෙකකට අධික ජනගහනයකගේ ජල සැපයුමට සෘජු බලපෑමක් එල්ල කරන බවයි. එමෙන් ම ගෝලීය වශයෙන් වාරිමාර්ග පහසුකම් සපයන භූමි ප්‍රමාණයෙන් සියයට 26කට පමණ මින් දැඩි බලපෑම් එල්ල වනු ඇති බව සඳහන්.
ලොව පුරා ජලාශවල ගබඩා කිරීමේ ධාරිතාව මේ වන විටත් සෑම දශකයකට ම සියයට 7.3ක සාමාන්‍ය වේගයකින් අඩුවෙමින් පවතින බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මෙම අධ්‍යයනය සඳහා දුරස්ථ සංවේදක, භූගෝලීය දත්ත සහ ඉංජිනේරු වාර්තා යොදා ගනිමින් ලොව පුරා ජලාශ 550,000කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව තක්සේරු ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් ම වර්ග කිලෝමීටරයකට වඩා කුඩා ජලාශ කෙරෙහි මෙහි බලපෑම අතිශයින් ම දරුණු වන අතර, 2060 වන විට අක්‍රිය විය හැකි යැයි පුරෝකථනය කර ඇති ජලාශවලින් සියයට 58ක් ම කුඩා ප්‍රමාණයේ ඒවායි.
ගංගා හරහා ගලා එන පස් සහ වැලි කාලයක් තිස්සේ වේලි පිටුපස එක්රැස් වීම හෙවත් අවසාදිත වීම මෙලෙස ජලාශවල ධාරිතාව අඩුවීමට ප්‍රධානතම හේතුවයි. ගංවතුර පාලනය, වාරිමාර්ග, ජල සැපයුම සහ ජල විදුලි උත්පාදනය සඳහා ජලාශ අත්‍යවශ්‍ය වන නමුත්, මෙම රොන්මඩ එක්රැස් වීම නිසා ජලය රඳවා තබා ගැනීමේ ඉඩකඩ සීමා වනවා. මෙහි දී ඇමරිකාවේ බටහිර කලාපය, මැදපෙරදිග සහ බටහිර ඕස්ට්‍රේලියාව වැනි වියළි කලාපවල පිහිටි ජලාශ වඩාත් අවදානමට ලක් ව ඇති ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
දැනටමත් ලොව පුරා ජලාශවලින් පහකින් එකක් පමණ මෙලෙස වේගයෙන් ජල ධාරිතාව අහිමි වීමේ තර්ජනයට මුහුණ දී සිටින බව පර්යේෂණයට සම්බන්ධ ප්‍රධාන කතුවරයෙකු වන ලියු කායි පවසනවා. මීට අමතර ව, වේලිවල රොන්මඩ සිරවීම හේතුවෙන් ගඟ දිගේ පහළට ගලා යන අවසාදිත ප්‍රමාණය අඩුවීම නිසා ගංගාවල ස්වභාවය වෙනස් වීම, වෙරළ ඛාදනය සහ පරිසර පද්ධති විනාශ වීම වැනි පාරිසරික ගැටලු රැසක් ද නිර්මාණය වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නිසි කලට ඵලදායී පියවර නො ගතහොත්, ලෝකයේ ජල, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවට මෙය පුපුරා යාමට ආසන්න කාල බෝම්බයක් බඳු දැවැන්ත අභියෝගයක් වනු ඇති බව පර්යේෂකයන් අවධාරණය කරනවා. එමනිසා අනාගත අර්බුද මඟහරවා ගැනීම සඳහා ස්වභාවධර්මය මත පදනම් වූ වඩාත් තිරසාර ජලාශ කළමනාකරණ ක්‍රමවේද වෙත යොමුවීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බව මෙම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.