සාර්ථකව සඳ වටා ගමන් කරමින් මානව ඉතිහාසයේ නව දුර වාර්තාවක් තැබූ Artemis II මෙහෙයුමට එක් වූ අභ්‍යවකාශගාමීන් සිව්දෙනාට අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම අභ්‍යවකාශ ගෞරව සම්මානය වන Congressional Space Medal of Honor පිරිනැමුණා. හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී පසුගිය දා මෙම සම්මාන ප්‍රදානය කරනු ලැබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.
මෙම ගෞරව සම්මානය හිමි වූයේ Artemis II ගගනගාමීන් වූ ඇමරිකානු ජාතිකයන් වන කමාන්ඩර් රීඩ් වයිස්මන්, නියමු වික්ටර් ග්ලෝවර්, මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කෝච් සහ කැනේඩියානු ජාතික ජෙරමි හැන්සන්ටයි. පසුගිය අප්‍රේල් මාසයේ දී NASA ආයතනයේ නවතම ‘ඔරායන්’ කැප්සියුලය මගින් සඳ වටා පියාසර කළ මොවුන්, අඩ සියවසකට පසු සඳ අසලට ම ගිය පළමු මිනිසුන් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වුණා.
මෙම උත්සව අවස්ථාවේ දී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, අමෙරිකානු අභ්‍යවකාශ බලකාය, NASA ආයතනය සහ වාණිජ අභ්‍යවකාශ ප්‍රජාව වෙනුවෙන් නවතම එක්සත් ජනපද අභ්‍යවකාශ ඇකඩමියක් ස්ථාපිත කරන බව ද නිවේදනය කළා. එමෙන් ම සිය දෙවන ධුර කාලය අවසන් වීමට පෙර අමෙරිකානුවන් යළිත් සඳ මත පා තබනු ඇති බවත්, ඉන් නොබෝ කලකට පසු අඟහරු වෙත ද ගමන් කරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළා.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා NASA ආයතනයේ ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා. මෙහි දී Artemis II අභ්‍යවකාශගාමීන් සිව්දෙනා හැඳින්වුණේ ‘නිර්භීත අභ්‍යවකාශ වීරයන් සිව්දෙනෙකු’ ලෙසයි. මේ දක්වා මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ අභ්‍යවකාශගාමීන් 30 දෙනෙකු පමණක් වන අතර, ඉන් බොහොමයක් ඔවුන්ගේ මරණින් පසු පිරිනමා ඇති සම්මාන වීම විශේෂත්වයක්. 1969 වසරේ දී සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝං මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම පුද්ගලයා වනවා.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ NASA ආයතනය මීළඟ Artemis මෙහෙයුම් හරහා සඳ මත ගොඩබැසීමට සූදානම් වනවා. එහි දී සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ අභ්‍යවකාශගාමීන් සහ රොබෝවරුන්ගෙන් සමන්විත තිරසර චන්ද්‍ර කඳවුරක් ඉදිකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. චීනය ද එම කලාපය කෙරෙහි ම අවධානය යොමු කර ඇති බැවින්, මේ වනවිට ලෝකයේ දෙවන අභ්‍යවකාශ තරගය ආරම්භ වී ඇති බව NASA ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී මැතිව් ඇන්ඩර්සන් මෙහි දී ප්‍රකාශ කළා.