Home Science News මානව DNA තුළ සැඟවුණු ‘අවතාර පෙළපත්’ දෙකක් සොයා ගැනේ

මානව DNA තුළ සැඟවුණු ‘අවතාර පෙළපත්’ දෙකක් සොයා ගැනේ

by Sathya

Homo sapiens නූතන මානවයාගේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව නවතම තොරතුරු රැසක් අනාවරණය කරමින්, අද වන විට වඳ වී ගොස් ඇති එහෙත් අපගේ DNA තුළ තවමත් ජීවත් වන අභිරහස් ‘සැඟවුණු’ මානව පෙළපත් දෙකක් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. ‘Science’ ජර්නලයේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, මෙම සුවිශේෂී සොයාගැනීම සිදු කර ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්.

මීට පෙර නියැන්ඩතාල් සහ ඩෙනිසෝවන් වැනි ආදිකාලීන මානවයින්ගේ DNA නූතන මිනිසා සතුව ඇති බව සොයාගෙන තිබුණ ද, මෙම නවතමයෙන් හඳුනාගත් පෙළපත් දෙකෙහි කිසිදු පොසිලයක් හෝ ජානමය සාම්පලයක් මෙතෙක් හමු වී තිබුණේ නැහැ. එබැවින් විද්‍යාඥයින් මොවුන් හඳුන්වන්නේ ‘අවතාර පෙළපත්’ හෙවත් Ghost lineages ලෙසිනුයි.

පොසිල සාක්ෂි නොමැති ව වුව ද මෙම අභිරහස් ඥාතීන් සොයා ගැනීම සඳහා පර්යේෂකයින් විසින් “TRACE” නම් නවීන පරිගණක ක්‍රමවේදයක් භාවිත කර තිබෙනවා. ලොව පුරා වෙසෙන නූතන මිනිසුන් සිය ගණනකගේ ජෙනෝමයන් විශ්ලේෂණය කිරීමෙන් සහ ඔවුන්ගේ DNA තුළ ඇති පරම්පරාගත සබඳතා ආපස්සට ගණනය කරමින් පැරණි මානව පවුල් ගස ප්‍රතිනිර්මාණය කිරීමට මෙහි දී පර්යේෂකයන් සමත් වී තිබෙනවා.

ඒ අනුව හෙළි ව ඇත්තේ අප සියලු දෙනා තුළ ම ඇති අතීතය
සොයාගත් පළමු මානව පෙළපත, මීට වසර 800,000 කට පමණ පෙර නූතන මානවයාගෙන් වෙන් ව ගිය කාණ්ඩයක් බවයි. එහෙත් මීට වසර 50,000 කට පමණ පෙර, එනම් හෝමෝ සේපියන්ස් මානවයා අප්‍රිකාවෙන් ලොව පුරා සංක්‍රමණය වීමට ප්‍රථම, අප්‍රිකාවේ දී මෙම අභිරහස් මානවයින් සහ අපගේ මුතුන්මිත්තන් අතර අන්තර් අභිජනනයක් සිදු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද ජීවත් වන අප්‍රිකානු මෙන්ම අප්‍රිකානු-නොවන සෑම මනුෂ්‍යයෙකුගේම ඩීඑන්ඒ වලින් 0.5% ත් 1% ත් අතර ප්‍රමාණයක් මෙම අභිරහස් පෙළපතින් පැවත එන බව පර්යේෂකයන් තහවුරු වනවා.

දෙවන මානව පෙළපත ඊටත් වඩා බොහෝ පැරණියි. මීට වසර මිලියන 1.8 කට පමණ පෙර අපගේ පරිණාමීය රේඛාවෙන් වෙන් වූ මොවුන් “අතිශය පැරණි” (Super-archaic) කාණ්ඩයක් ලෙස හැඳින්වෙනවා. (මෙය බොහෝවිට ‘හෝමෝ ඉරෙක්ටස්’ – Homo erectus මානවයා විය හැකි බවට අනුමාන කෙරේ). මොවුන් මීට වසර 200,000 කට පමණ පෙර ඩෙනිසෝවන් මානවයින් සමඟ මුහුම් වී ඇති අතර, පසු ව එම ඩෙනිසෝවන් මානවයන් හරහා වක්‍රාකාරව එම අතිශය පැරණි DNA කොටස් නූතන මානවයාට දායාද වී තිබෙනවා.

මෙම අධ්‍යයනයේ සම-කර්තෘවරියක වන UC Berkeley හි සහකාර මහාචාර්ය ප්‍රියා මූර්ජානි පවසන පරිදි, අප ආවේ කොහෙන්ද? යන මූලික ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට මෙම සොයාගැනීම මහඟු පිටිවහලක් වනවා.

අතීතයේ දී විවිධ මානව කාණ්ඩයන් අතර නිරන්තරයෙන් ජාන හුවමාරු වී ඇති බවත්, නව රෝගාබාධවලට සහ නව ආහාර රටාවන්ට හැඩගැසීමට අවශ්‍ය ජානමය විවිධත්වය නූතන මිනිසාට ලැබී ඇත්තේ මෙවැනි සබඳතා හරහා බවත් මෙම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය වනවා. පොසිල සාක්ෂි නොමැති ව වුව ද මානවයාගේ සංකීර්ණ පවුල් ගසෙහි සැඟවුණු අතු ඉති සොයා ගැනීමට නව තාක්ෂණය සමත් වීම, මානව පරිණාමය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications