Home Science News 2029 දී ආසන්නතම තාරකා පද්ධතිය බලා පිටත් වන යානය

2029 දී ආසන්නතම තාරකා පද්ධතිය බලා පිටත් වන යානය

by Sathya

Fermi Explorer Mission නම් ලාභ නොලබන සංවිධානයක් විසින් 2029 වසරේ දී ඇල්ෆා සෙන්ටෝරි (Alpha Centauri) තරු පද්ධතිය වෙත කුඩා අභ්‍යවකාශ යානයක් යැවීමේ සුවිශේෂී සැලසුමක් පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබුණා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4.4 ක් දුරින් පිහිටි, අපගේ සූර්යයාට ආසන්නතම තරු පද්ධතිය වන ඇල්ෆා සෙන්ටෝරි වෙත ළඟා වීම සඳහා මෙම ගවේෂණ යානයට වසර 80,000 ක පමණ කාලයක් ගතවනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතියේ සම-නිර්මාතෘ සහ සභාපති ෆිලිප් ජොන්ස්ටන් පවසන පරිදි, මෙම ගමන අවසන් වන විට වත්මන් පරම්පරාවේ කිසිවෙකුත් ජීවතුන් අතර නො සිටින නමුත්, අනාගත පරම්පරාවන් දිරිගැන්වීම සහ මානව වර්ගයා සතු සීමාවන්ගෙන් ඔබ්බට යමින් අන්තර් තාරකා ගමනක් සඳහා ප්‍රායෝගික පළමු පියවර තැබීම මෙම මෙහෙයුමේ ප්‍රධානතම අරමුණයි. Starcloud සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඔහු සමඟ එස්රා ෆීල්ඩන් සහ ආඩි ඔල්ඩීන් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. හිටපු ඇමරිකානු ගුවන් හමුදා නිලධාරී ගැරට් ජැමිසන් මෙහි දෛනික මෙහෙයුම් කටයුතු මෙහෙයවන අතර Blue Origin ආයතනයේ හිටපු සභාපති රොබ් මේයර්සන් සහ AstroForge සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මැට් ජියාලිච් වැනි ප්‍රවීණයන් රැසක් මීට උපදේශකවරුන් ලෙස එක් ව සිටිනවා.

මෙම අභ්‍යවකාශ යානය පෘථිවියේ දී කිලෝග්‍රෑම් 100 ත් 200 ත් අතර බරකින් යුක්ත වනු ඇතැ යි සැලකෙන අතර, එය අවම වශයෙන් කිලෝග්‍රෑම් 1 ක පර්යේෂණ උපාංග ප්‍රමාණයක් රැගෙන යාමට නියමිතයි. සාම්ප්‍රදායික රසායනික ප්‍රචාලක වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ප්‍රායෝගික ව තහවුරු වූ විදුලි ප්‍රචාලන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම යානය සඳහා අනාගතවාදී තාක්ෂණයන් මත යැපීමට කණ්ඩායම අපේක්ෂා කරන්නේ නැහැ. සමස්ත මෙහෙයුම සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අඩු වීම ද තවත් විශේෂත්වයක්.

විශ්වයේ වෙනත් බුද්ධිමත් ජීවීන් සිටී ද යන ගැටලුව පදනම් කරගත් සුප්‍රසිද්ධ ‘ෆර්මි පරස්පරතාව’ (Fermi Paradox) පිළිබඳව මිනිසුන් තුළ ඇති කුතුහලය තවදුරටත් අවදි කිරීමත්, අන්තර් තාරකා ගමන් හුදෙක් සිහිනයක් පමණක් නො වන බව පෙන්වා දීමත් මෙම මෙහෙයුම හරහා බලාපොරොත්තු වනවා. මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර එක්රැස් කරමින් පවතින අතර, ඉදිරි මාස කිහිපය තුළ යානය නිෂ්පාදනය කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් සැලසුම් පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිත බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications