අද සිකුරු චන්ද්‍රයාට මුවා වෙයි

අද (14) රාත්‍රියේ චන්ද්‍රයා සිකුරු ගිල ගැනීමේ (Lunar Occultation of Venus) දුර්ලභ සහ සුවිශේෂී තාරකා විද්‍යාත්මක සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව හිමි වනවා. එනම් අද රාත්‍රියේ චන්ද්‍රයා සිකුරු ග්‍රහයා ඉදිරියෙන් ගමන් කරමින් එය සම්පූර්ණයෙන්ම වසා දැමීම සිදු කරනවා.

මෙම සංසිද්ධිය ග්‍රහ වස්තුවල දෘශ්‍ය කෝණය සහ විශාලත්වය පිළිබඳ අපූරු පාඩමක් ද උගන්වනවා. සිකුරු ග්‍රහයා කිලෝමීටර් 12,000ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 69ක් පමණ ඈතින් පිහිටනවා. කිලෝමීටර් 3,500ක පමණ විෂ්කම්භයක් ඇති චන්ද්‍රයා පිහිටන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් 384,000ක් තරම් ආසන්නයෙන්. සිකුරු ග්‍රහයා සඳට වඩා 3.5 ගුණයකින් විශාල වුව ද, පෘථිවියට ඇති ආසන්න බව නිසා දෘශ්‍ය විශාලත්වය සැලකූ විට චන්ද්‍රයා සිකුරුට වඩා 50 ගුණයක් පමණ විශාලව පෙනෙනවා. මේ නිසා විශාල සිකුරු ග්‍රහයාව කුඩා චන්ද්‍රයා විසින් සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබනවා.

මෙම සිදුවීම සැප්තැම්බර් 14 වන දින සන්ධ්‍යා කාලයේ බටහිර අහසේ ආරම්භ වනවා.

ආරම්භය (පස්වරු 5:30): සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගේ අඳුරු දාරය (dark limb) පිටුපසට ගමන් කරමින් අතුරුදන් වීම ආරම්භ වනවා. එම අවස්ථාවේදී තවමත් සූර්යාලෝකය පවතින බැවින් සිකුරු ග්‍රහයා නිරීක්ෂණය කිරීම තරමක් අපහසු විය හැකිය.

සැඟවී පවතින කාලය: සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී පැය 1යි විනාඩි 15කට නොඅඩු කාලයක් පවතිනු ඇති.

නැවත මතුවීම (රාත්‍රී 6:45): සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගේ දීප්තිමත් දාරය (bright limb) ආසන්නයෙන් නැවත මතුවීම ආරම්භ වන අතර, රාත්‍රී අහසේදී එය ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වනු ඇති.

චන්ද්‍රයා සහ සිකුරු යන වස්තු දෙකම පියවි ඇසට පැහැදිලිව පෙනෙන බැවින් මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. අද රාත්‍රියේ චන්ද්‍රයා 12%ක් පමණක් ආලෝකමත් වූ සිහින් මෝරන සඳක් ලෙස පෙනෙන අතර සිකුරු ග්‍රහයා –4.7 ක පමණ දෘශ්‍ය දීප්තියකින් යුක්ත වේ. අවම වශයෙන් 30x විශාලන බලයක් සහිත දුරේක්ෂයක් භාවිත කළහොත් චන්ද්‍රකලාව මෙන්ම සිකුරු ග්‍රහයාගේ කලාවද පැහැදිලිව දැකගත හැකි වනු ඇති.

2026 වසරේ දී සිකුරු ග්‍රහයා පදනම් කරගත් මෙවැනි චන්ද්‍ර මුවාවීම් තුනක් සිදුවන අතර, සැප්තැම්බර් 14 වන දා සිදුවන්නේ එහි දෙවැන්නයි. පළමුවැන්න ජූනි 17 දා සිදු වූ අතර, තෙවැන්න නොවැම්බර් 7 දා සිදු වීමට නියමිතයි. මෙම සංසිද්ධියේ ගෝලීය කාල පරාසය 09:26–13:42 UTC වන අතර යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ කොටස් ඇතුළුව ශ්‍රී ලංකාවටද මෙම ආවරණ කලාපය අයත් වනවා. චන්ද්‍රයාගේ සහ සිකුරුගේ කක්ෂ තල කුඩා කෝණයකින් ඇලව පිහිටන බැවින් මෙලෙස වස්තු දෙක එකම දෘෂ්ටි රේඛාවට පැමිණීම දුර්ලභ සංසිද්ධියක් වනවා. මීට පෙර 2015 දෙසැම්බර් 7, 2020, 2021 සහ 2023 වසරවලදී ද මෙවැනි සිදුවීම් වාර්තා වුණා.

Related posts

කෘත්‍රිම බුද්ධිය මානව පැවැත්මට තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි

දශක ගණනාවක් පුරා නො විසඳුණු සංකීර්ණ ගණිත ගැටලුවක් OpenAI විසඳූ බව නිවේදනය කරයි.

NASA සිය ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි