Science News කෘත්‍රිම බුද්ධිය මානව පැවැත්මට තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි SathyaSeptember 11, 2026026 views United Nations High Commissioner for Human Rights Volker Turk holds a press conference in Beirut, Lebanon, July 27, 2026. REUTERS/Mohamed Azakir දියුණු වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අනාගතයේ දී මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අනතුරු අඟවා තිබෙනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමේ අවස්ථාවේදීයි. ටර්ක් පෙන්වා දුන්නේ කෘත්‍රිම බුද්ධිය මඟින් මිනිසුන්ට විශාල ප්‍රතිලාභ රැසක් ලබා දිය හැකි නමුත් එය නිසි පාලනයකින් තොර ව සංවර්ධනය වුවහොත් බරපතළ අවදානමක් මතු විය හැකි බවයි. එබැවින් AI පද්ධති සඳහා ‘යකඩ මෙන් ශක්තිමත් සුරක්ෂිතතාව සහතික කිරීමේ’ විධිවිධාන (cast-iron guarantees) ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළා. ඔහුගේ ප්‍රධාන කනස්සල්ල වී ඇත්තේ ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් කිහිපයක් පමණක් AI සංවර්ධන ක්ෂේත්‍රෙය් විශාල බලයක් අතේ තබාගෙන සිටීමයි. මෙම බල සංකේන්ද්‍රණය නිසා තාක්ෂණය පාලනය කිරීම සහ වගවීම පිළිබඳ ගැටලු උද්ගත විය හැකි බව ටර්ක් සඳහන් කළා. ඒ අනුව AI සංවර්ධනය කරන රටවල් සහ එම සැපයුම් දාමයට සම්බන්ධ රාජ්‍යයන් එක්ව පිළිගත නො හැකි අවදානම් සම්බන්ධයෙන් පැහැදිලි “රතු ඉරි” (red lines) සකස් කළ යුතු බව ඔහු කියා සිටියා. මෙම අනතුරු ඇඟවීම සිදු වන්නේ AI ආරක්ෂාව පිළිබඳ ලෝකයේ අවධානය දැඩි ලෙස යොමුව ඇති පසුබිමකයි. මෑතක දී ප්‍රමුඛ AI සමාගමක් වන Anthropic හි පර්යේෂකයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබුණේ ඉදිරි දශකය තුළ අතිශය දියුණු “සුපිරි බුද්ධිමත්” AI පද්ධති මිනිසුන්ගේ පාලනයෙන් මිදී බරපතළ විනාශයක් ඇති කිරීමේ සම්භාවිතාවක් පවතින බවයි. සමහර පර්යේෂකයන් එවැනි අවදානමක් සඳහා සියයට 10කට වැඩි සම්භාවිතාවක් ද පෙන්වා දී තිබෙනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ අනාගතයේ දී මිනිස් බුද්ධිය ඉක්මවා යන AI පද්ධති නිර්මාණය වුවහොත් ඒවායේ අරමුණු සහ මිනිස් වටිනාකම් අතර නො ගැළපීමක් ඇති විය හැකි බවයි. එවැනි තත්ත්වයක දී AI පද්ධති ස්වයංක්‍රීය ව තීරණ ගනිමින් මිනිසුන්ගේ අවශ්‍යතා නොසලකා හැරීමට හෝ මිනිස් පාලනයෙන් මිදීමට උත්සාහ කළ හැකි බවට ඇතැම් පර්යේෂකයන් අනතුරු අඟවා තිබෙනවා. ටර්ක් සිය කතාවේ දී තවත් කරුණක් අවධාරණය කළේ යුද්ධ කටයුතු සඳහා ස්වයංක්‍රීය මාරාන්තික ආයුධ භාවිතය පිළිබඳවයි. යුක්රේනයේ ගැටුම්වල දී පූර්ණ ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිත කර ඇති බවට ලැබෙන වාර්තා ගැන ඔහු කනස්සල්ල පළ කළ අතර, මිනිස් මැදිහත් වීමකින් තොරව මරණීය තීරණ ගන්නා ආයුධ පද්ධති තහනම් කළ යුතු බව ද ප්‍රකාශ කළා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය නියාමනය සඳහා මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මට්ටමින් සාකච්ඡා ආරම්භ වී ඇති අතර, AI ආරක්ෂාව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර ආරක්ෂාව අතර සම්බන්ධතාවය ඉදිරි වසරවල දී ලෝක නායකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වනු ඇතැ යි විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.