දශක ගණනාවක් පුරා නො විසඳුණු සංකීර්ණ ගණිත ගැටලුවක් OpenAI විසඳූ බව නිවේදනය කරයි.

ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි සමාගමක් වන OpenAI, දශක ගණනාවක් පුරා ලොව පුරා සිටින ගණිතඥයන්ට මහත් අභියෝගයක් ව පැවති සංකීර්ණ ගණිත ගැටලුවක් කෘත්‍රිම බුද්ධිය මඟින් විසඳීමට තමන් සමත් වූ බව නිවේදනය කර තිබෙනවා.

ක්ලේ ගණිත ආයතනය (Clay Mathematics Institute) විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකට “Millennium Prize Problems” අතුරින් එකක් වන නේවියර්-ස්ටෝක්ස් අභියෝගය මෙසේ විසඳූ බව OpenAI සමාගම පවසනවා. සුළඟ සහ ජලය වැනි තරලයන්හි චලනය විස්තර කිරීම සඳහා භාවිතා කරන සමීකරණ යම් නිශ්චිත තත්ත්ව යටතේ අසාර්ථක වන්නේ ද යන්න මෙම අභියෝගයේ දී අවධානයට ලක් වනවා.

විසඳුම සෙවීම සඳහා OpenAI සමාගම සිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි කෘත්‍රිම බුද්ධි ඒජන්තවරුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් එකවර පැය 88ක් පුරා එක දිගට ක්‍රියාවේ යොදවා තිබෙනවා. අනතුරුව ලද විසඳුම නිවැරදි දැ යි තහවුරු කරගැනීමට එම සමාගමේ නවතම GPT-6 Astra මාදිලියට පැය 17ක කාලයක් ගත වී තිබෙනවා.

මෙවැනි Millennium Prize ගැටලුවක් විසඳන ඕනෑ ම අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක තෑගි මුදලක් ක්ලේ ගණිත ආයතනය විසින් පිරිනමනු ලබනවා. කෙසේ වෙතත්, එම ත්‍යාග මුදල ලබාගැනීමට තමන් බලාපොරොත්තු නො වන බවයි OpenAI ප්‍රකාශ කර ඇත්තේ.

OpenAI සමාගමේ මෙම ප්‍රකාශයත් සමඟම යම් යම් ආන්දෝලනාත්මක තත්ත්වයන් ද මතු වී තිබෙනවා. නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ට්‍රිස්ටන් බක්මාස්ටර් පෙන්වා දෙන්නේ, තමන් සහ Anthropic සමාගමේ තවත් පර්යේෂකයෙකු එකතු වී මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට ආසන්න ව සිටින බව දැනගැනීමෙන් පසු ව OpenAI සමාගම සිය පර්යේෂණ කඩිනම් කළ බවයි.

තව ද, තමන් කරමින් සිටි පර්යේෂණ දත්ත OpenAI හි ‘Codex’ පද්ධතිය තුළ ගබඩා කර තිබීම නිසා එම දත්ත OpenAI පර්යේෂකයන්ට දර්ශනය වීමට ඉඩ තිබූ බවට ද ඔහු සැක පහළ කර තිබෙනවා. කෙසේ වෙතත්, මාධ්‍ය හමුවක් පවත්වමින් OpenAI හි පර්යේෂකයෙකු වන සෙබස්තියන් බුබෙක් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු අවධාරණය කළේ වෙනත් අයෙකුගේ දත්ත හෝ පරිශීලක තොරතුරු තමන්ගේ ආකෘති සඳහා භාවිත නො කළ බවයි.

මෙම ජයග්‍රහණයත් සමඟ, දැවැන්ත පරිගණන බලයක් සහිත කෘත්‍රිම බුද්ධි ආකෘති මඟින් ගණිත ක්ෂේත්‍රයේ සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව නැවත වරක් තහවුරු වී තිබෙනවා. OpenAI සහ Google DeepMind වැනි සමාගම් අතර පවතින තරගකාරිත්වය තුළ, AI තාක්ෂණය මඟින් විද්‍යාත්මක හා ගණිතමය පර්යේෂණ වේගවත් වීම ඉදිරියේ දී තවදුරටත් දැකගත හැකි වනු ඇති.

Related posts

කෘත්‍රිම බුද්ධිය මානව පැවැත්මට තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි

NASA සිය ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි

ජාන වෙනස් කළ සූකර වකුගඩුවකින් මාස නවයක් ජීවය ලද මිනිසා