Science News දුරස්ථව සුවඳ බෙදාගත හැකි නවතම තාක්ෂණයක් SathyaOctober 26, 202608 views වර්තමානයේ ස්මාර්ට් දුරකථන සහ අන්තර්ජාලය හරහා දෘශ්ය සහ ශ්රව්ය තොරතුරු ක්ෂණිකව හුවමාරු කර ගැනීමට අපට හැකියාව ඇතත්, ‘සුවඳ’ ඩිජිටල් ලෙස හුවමාරු කර ගැනීම මෙතෙක් පැවතුණේ ප්රායෝගිකව කළ නොහැක්කක් ලෙසයි. එහෙත් ඇමරිකාවේ ඔහායෝ ප්රාන්ත විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති නවතම තාක්ෂණයක් සමඟ අනාගතයේදී එය යථාර්ථයක් බවට හැරීමට නියමිතයි. ‘Science Advances’ ජර්නලයේ ප්රකාශයට පත් කර ඇති මෙම නවතම පර්යේෂණයට අනුව, ඔවුන් මෙම ඩිජිටල් සුවඳ තාක්ෂණය ‘Scentronic’ ලෙස නම් කර තිබෙනවා. මෙහි මූලික අරමුණ වන්නේ එක් ස්ථානයක ඇති සුවඳක් හඳුනාගෙන, දුරස්ථව සිටින අයෙකුට එම සුවඳම ප්රතිනිර්මාණය කර ලබා දීමයි. දෘශ්ය සහ ශ්රව්ය තොරතුරු සඳහා සුවඳ ද එකතු කිරීමෙන් ඩිජිටල් සන්නිවේදන අත්දැකීම් වඩාත් සජීවී කිරීම මෙහි අරමුණ බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේ පද්ධතිය ප්රධාන කොටස් දෙකකින් සමන්විත වනවා. ඉන් පළමුවැන්න වන ‘විද්යුත් නාසය’ හෙවත් ‘e-nose’ යනු විෂ්කම්භයෙන් අඟල් 6ක් පමණ වන කුඩා උපාංගයක්. එහි ඇති වායු සංවේදක මගින් විවිධ සුවඳවලට අදාළ රසායනික සංයෝග හඳුනා ගන්නා අතර, යන්ත්ර ඉගෙනුම් ආකෘතියක් මගින් එම සුවඳ නිවැරදිව වර්ගීකරණය කරනු ලබනවා. දෙවැනි කොටස වන්නේ සුවඳ උත්පාදක යන්ත්රයයි. හඳුනාගත් සුවඳ පිළිබඳ තොරතුරු මාර්ගගත වේදිකාවක් හරහා ග්රාහකයාගේ උපාංගය වෙත යැවෙනවා. මෙහි දී අන්තර්ජාලය හරහා යවන්නේ සුවඳ අණු නොව දත්ත පමණයි. ඉන්පසු අත් පළඳනාවක් හෝ මාලයක් ලෙස නිර්මාණය කර ඇති ග්රාහක උපාංගය මගින් අදාළ දත්තවලට ගැලපෙන සුවඳ අණු මුදා හැරීමෙන් ග්රාහකයාට සුවඳ දැනීමට සලස්වනවා. පර්යේෂණයේ ප්රධාන කර්තෘ, ද්රව්ය විද්යාව සහ ඉංජිනේරු විද්යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක චුන්යු යැං පවසන පරිදි, මෙම උපාංගය දැනට සාර්ථකව හඳුනා ගන්නේ එදිනෙදා හමුවන සුවඳ වර්ග පහක් පමණයි. ඒ බියර්, කේක්, කෝපි, දොඩම් සහ රතු වයින් යන සුවඳයි. මූලික අදියරක් ලෙස මෙම සුවඳ වර්ග පහ පමණක් යොදාගෙන ඇති අතර අනාගතයේ දී තවත් සුවඳ වර්ග හඳුනාගැනීම සඳහා පද්ධතිය පුහුණු කිරීමට නියමිතයි. මෙම තාක්ෂණය අනාගතයේ දී අතථ්ය යථාර්ථය (VR) සහ වර්ධිත යථාර්ථය (AR) වඩාත් තාත්වික කිරීමට මෙන් ම, අන්තර්ජාල සාප්පු සවාරිවල දී පාරිභෝගිකයන්ට භාණ්ඩවල සුවඳ පරීක්ෂා කිරීමටත් යොදාගත හැකි වනු ඇති. එසේම දුරස්ව සිටින පවුලේ සාමාජිකයන් සමඟ ආහාර වේලක සුවඳ බෙදාගැනීමටත් මෙය කදිම අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව පර්යේෂකයන් අවධාරණය කරනවා. වාණිජ මට්ටමට ගෙන ඒම සඳහා පද්ධතිය තවදුරටත් පුහුණු කිරීම, මිශ්ර සුවඳ හඳුනාගැනීමේ හැකියාව දියුණු කිරීම, උපාංග තවදුරටත් කුඩා කිරීම සහ නිරන්තරයෙන් සුවඳ ආඝ්රාණය කිරීමේ දී ඇතිවිය හැකි සෞඛ්ය ආරක්ෂිත බව තහවුරු කිරීම වැනි අභියෝග රැසක් ඉදිරියේ දී ජයගත යුතුව පවතිනවා.