Science News ‘ෆෝබෝස්’ චන්ද්රයාගෙන් පස් සාම්පල ගෙන එන ජපාන අභ්යවකාශ මෙහෙයුම SathyaOctober 22, 202601 views අඟහරු ග්රහයාගේ ප්රධාන චන්ද්රයෙකු වන ‘ෆෝබෝස්’ (Phobos) වෙතින් පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම සඳහා යන ලොව පළමු අභ්යවකාශ මෙහෙයුම වන ජපාන අභ්යවකාශ නියෝජිතායතනයේ (JAXA) MMX මෙහෙයුම පසුගිය 20 දා දියත් වුණා. වසර පහක කාලයක් පුරා ක්රියාත්මක වන මෙම Martian Moons eXploration (MMX) මෙහෙයුම මඟින් ෆෝබෝස් සහ අඟහරුගේ අනෙක් කුඩා චන්ද්රයා වන ඩීබෝස් (Deimos) නිර්මාණය වූ ආකාරය පිළිබඳවත්, සෞරග්රහ මණ්ඩලයේ ජීවයේ ආරම්භය පිළිබඳවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විද්යාඥයන් බලාපොරොත්තු වනවා. ජපානයේ නවතම ‘H3’ රොකට්ටුව භාවිතයෙන් මෙම යානය තනෙගෂිමා අභ්යවකාශ මධ්යස්ථානයෙන් උඩුගුවනට යැවුණා. අඟහරු ග්රහයා වෙත මිනිසුන් සහිත අනාගත ගවේෂණ මෙහෙයුම් යැවීමේ දී මෙම උපග්රහයන් පදනම් මධ්යස්ථාන ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව පර්යේෂණ කිරීමට මෙම සාම්පල උපකාරී වන බවයි MMX මෙහෙයුමේ ව්යාපෘති කළමනාකාර යසුහිරෝ කවකට්සු සඳහන් කරන්නේ. 1960 දශකයේ සිට අඟහරු වෙත යානා රැසක් යවා තිබුණ ද, එහි චන්ද්රයන් දෙදෙනා පිළිබඳ තොරතුරු තවමත් පවතින්නේ අභිරහසක් ලෙසයි. කිලෝමීටර 27 ක විෂ්කම්භයකින් යුත් ෆෝබෝස්, අඟහරුට වඩාත් ආසන්නයෙන් (කිලෝමීටර 6,000 ක් දුරින්) කක්ෂගතව පවතින බැවින්, අඟහරුගෙන් විසිවූ ද්රව්ය ද එහි අඩංගු විය හැකි බව විශ්වාස කෙරෙනවා. මෙම මෙහෙයුම ජපානයේ මූලිකත්වයෙන් සිදුවුව ද, ඒ සඳහා ඇමෙරිකාවේ NASA, ප්රංශයේ CNES, ජර්මනියේ DLR සහ යුරෝපා අභ්යවකාශ නියෝජිතායතනය (ESA) තාක්ෂණික සහය ලබා දෙනවා. ජපාන යානය ගොඩබැසීමට පෙර, ප්රංශය සහ ජර්මනිය එක් ව නිර්මාණය කළ ‘Idefix’ නමැති කුඩා රෝවරය ෆෝබෝස් මතට ගොඩබස්වා මතුපිට භූමිය අධ්යයනය කිරීමට නියමිතයි. අනතුරුව NASA නයිට්රජන් වායු පීඩන තාක්ෂණය භාවිතයෙන් මතුපිට දූවිලි ද, JAXA සෙන්ටිමීටර 2 ක් පමණ ගැඹුරට විද සාම්පල ද ලබාගැනීමට නියමිත අතර, අවම වශයෙන් පස් ග්රෑම් 10 ක ප්රමාණයක් එකතු කරගැනීම අපේක්ෂා කෙරෙනවා. පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 500–600 ක දුරක් ගෙවා යානය 2027 අගෝස්තු වන විට අඟහරු ආසන්නයට ළඟා වනු ඇති. ඉන්පසු ව ඉදිරි වසර 3 තුළ ෆෝබෝස් වටා කක්ෂගතව පර්යේෂණ පවත්වා සාම්පල ලබාගැනීම සිදු කෙරෙන අතර, සාම්පල රැගත් කැප්සියුලය 2031 වසරේ දී ඕස්ට්රේලියාවට ගොඩබෑමට නියමිතයි. අඟහරුගේ ගුරුත්වාකර්ෂණයෙන් සියයට එකකටත් වඩා අඩු (1/2000) ඉතා අඩු ගුරුත්වයක් සහිත ෆෝබෝස් මතට ආරක්ෂිත ව ගොඩබැසීම මෙම මෙහෙයුමේ ඇති ප්රධානතම තාක්ෂණික අභියෝගය බව විද්යාඥයන් වැඩිදුරටත් සඳහන් කරනවා.