Features Health දෙවෙනි බදාදා SathyaMay 10, 20230425 views එදා අපි සත්තු ගැනත් කතා කලාට අද ඉඳන් අපි කතා කරන්නේ ඔයාලා අපි වගේ මිනිස්සු ගැන. හොඳට මතක තියාගන්න. විභාගෙට ඇහුවේ නැති උනාට අපි මේ ඉගෙන ගන්න දේවල් ඊටත් වඩා ඔයාලාගේ ජීවිතේට වැදගත්. ඒ නිසා මේ දේවල් හරියටම ඉගෙන ගන්න ඕන.හරි ද ? හරි ටීචර්.ඔයාලා හැමෝම පොඩි බබාලා දැකලා තියෙනවා නේද ?ඔව් ටීචර්හරි කවුද දන්නේ බබාලා එන්නේ කොහෙන්ද කියලා ?ඉස්පිරිතාලෙන් නේ ටීචර්.හරි හරි ඉස්පිරිතාලෙන් තමයි. එතකොට ඉස්පිරිතාලෙට කොහෙන්ද බබාලා ?ආ ටීචර් .. මම ඕක අපේ අම්මගෙන් ඇහුවා. ගිය සතියේ එයා මල්ලියෙක් ගෙනාවා. එයා කිවුවා පණ්ඩිත ප්රශ්න අහන්න එපා කියලා.හා හරි හරි.. ඒකට කමක් නෑ. අපි හරියට ඉගෙන ගමු ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා.බබෙක් හැදෙන්නේ අම්ම කෙනෙක් ගෙ බඩේ. එයා මුලින් ම හරිම පොඩි ඇහැට පේන්නේ නැති තරම් පොඩි සෛලයක් හැටියට තමයි එයාගෙ ජීවිතේ පටන් ගන්නේ. ඊට පස්සෙ ටික ටික ලොකු වෙනවා.එතකොට ටීච එයා එකපාරටම ඉබේම බඩ ඇතුලට එනවද ?නෑ නෑ එහෙම එන්නේ නෑ. එයා එන හැටි අපි වෙන දවසක ඉගෙනගනිමු. ඒක දැනගන්න එහෙමත් නැත්නම් එයා එන හැටි තේරුම් ගන්න ඔයාලා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනෙ. මම මුලින් ම ඔයාලට කියල දෙන්නේ අන්න ඒ දේවල්.හරි හරි අපි ආයෙත් කතාවට යමු.ඔන්න ඔහොම පොඩියට බඩ ඇතුලට එන බබා ටික ටික ලොකු වෙනවා.ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. මේ විදිහට බබෙකුට ඇවිත් ලොකු වෙන්න කාන්තාවන්ගේ බඩ ඇතුලේ විශේෂ තැනක් තියෙනවා. ඒකට කියන්නේ ගර්භාශය කියලා.බබෙක් ඉපදෙන්න කලින් අම්මගෙ බඩ ඇතුලේ ඉන්නකොට අපි එයාට කියන්නේ ගර්භය කියලා. එහෙම බබෙක් බඩේ ඉන්නකොට ඒ ගෑනු කෙනාට අපි කියන්නේ ගර්භනී මවක් නැත්නම් ගර්භනී කාන්තාවක් කියලා. ඒකෙ තේරුම තමයි ගර්භයක් ඒ කියන්නේ දරුවෙක් බඩේ දරාගෙන ඉන්නවා කියන එක.එතකොට අපි ඇඟ ඇතුලේ තියෙන මල්ලක් වගේ දෙයකට කියන්නේ ”ආශය” කියලා.දැන් තේරෙනවා ද ගර්භය තියෙන මල්ල එහෙමත් නැත්නම් ආශයට තමයි අපි ”ගර්භාශය” කියන්නේ.ඔන්න ඔය ගර්භාශය හරිම පොඩියි. නිකමට හිතුවොත් කුකුල් බිත්තරයක් විතර ඇති. මේක ඇතුලට බබෙක් ඇවිත් බබා ටික ටික ලොකු වෙනකොට ගර්භාශය ටික ටික ලොකු වෙනවා. අන්න එතකොට තමයි බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක් ගේ බඩත් ටික ටික ලොකු වෙන්නේ. ඔයාලා දැකලා තියෙනවා නේද අලුත ඉපදුනු බබාලා. අන්න ඒ වගේ බබෙක්ට ඇතුලේ ඉන්න පුලුවන් තරමටම මේ බිත්තරයක් වගේ තියෙන ගර්භාශය ලොකු වෙනවා.ඒ ගැන අපි පස්සෙ දවසක තව ටිකක් ඉගෙන ගමු. දැන් අපි බලමු මේ ගර්භාශය ඇතුලට එන බබා ටික ටික ලොකු වෙන්නේ කොහොමද කියලා.එයා ඉස්සර වෙලාම ගර්භාශය ඇතුලට එන්නේ තනි ඇහැටවත් නොපෙනෙන තනි සෛලයක් හැටියට. ඊට පස්සෙ එයා දෙකට බෙදිලා සෛල දෙකක් හදාගන්නවා. ඊට පස්සෙ ඒ සෛල දෙක ආයෙත් දෙකට බෙදිලා සෛල හතරක් වෙනවා. ඔන්න ඔහොම සෛල ගාන වැඩි කරගෙන සෛල ගුලියක් හැදෙනවා. අන්න එහෙම වුනාට පස්සෙ එයා ගර්භාශයේ ඇතුල් පැත්තේ බිත්තියේ ඇලවෙනවා.එයාට ලොකු වෙනකල් ජීවත් වෙන්න පුලුවන් වෙන විදිහට තමයි මේ බිත්තිය හැදිලා තියෙන්නේ. බබා බිත්තිය උඩට ආවට පස්සෙ බිත්තිය බබා එක්ක රුධිර නාල වලින් සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ බබාට වැඩෙන්න ඕන කරන හැමදෙයක් ම අම්මගෙ ඇඟේ ඉඳලා බබාට යවනවා.මෙන්න මෙහෙම ගර්භාශ බිත්තිය තැන්පත් වෙනවට කියන්නේ අධිරෝපනය වෙනවා කියලා. ඒ වචනෙ නම් දැනගත්තේ නැතත් කමක් නෑ.කාන්තාවකගේ ගර්භාශය ඇතුලේ ඔන්න ඔය විදිහට බබෙක් හැටියට ලොකු වෙන්න පුලුවන් සෛල ගුලියක් තැන්පත් වුණාම තමයි අපි කියන්නේ එයා ගර්භණී වුනා කියලා. ඉංග්රීසියෙන් ප්රෙග්නන්ට් උනා කියලා කියන්නේ.ඔයාලා දන්නවාද කාන්තාවක් ගර්භනී උනාම එයාගේ ගර්භාශය ඇතුලේ ඉන්න දරුවා ලොකු වෙලා ඉවර වෙන්න සති හතලිහක් විතර යනවා. ඒ කියන්නේ සාමාන්යයෙන් මිනිස්සුන්ගේ ගර්භනී කාලය සති හතලිහක්.බබෙක් මෙහෙම වැඩිලා සම්පූර්ණ වෙන්න අඩුම තරමේ සති තිස් හතක් වත් යනවා. බැරි වෙලාවත් ඊට කලින් ඉපදුනොත් එහෙම අපි එයාට කියන්නේ නොමේරූ දරුවෙක් කියලා. ඒ වගේම තමයි එයා හොඳින් වැඩිලා කියලා කියන්න ඉපදෙනකොට එයාගේ බර ග්රෑම් 2500 ක් වත් තියෙන්න ඕනෙ. බබෙක් ඉපදෙන කොට එයාගෙ බර ග්රෑම් 2500 ට වඩා අඩු නම් අපි එයාට කියන්නේ අඩු බර බබෙක් කියලා.එහෙම නම් මේ හරිම පොඩියට තිතක් වගේ ගර්භාශය ඇතුලේ තැන්පත් වෙන බබා සති හතලිහක් තිස්සේ ටික ටික ලොකු වෙන හැටි අපි ඊලඟ දවසේ ඉගෙන ගමු.දැන් හැමෝම පරිස්සමින් ගෙවල් වලට යන්න. වෛද්ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්රජා වෛද්ය විද්යාව)