Features Health පස්වෙනි බදාදා SathyaJune 14, 20230239 views හැමෝම ඉන්නවා නේ ද? ඔන්න අපි එහෙනං එදා නවත්තපු තැනින් පටන් ගමු. මතක නෙ බබාට සති දහ අටක් වෙනකල් මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලමු ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා..සති විසි දෙකක් වෙනකොට බබාගෙ අත් කකුල් හොඳට ම හැදිලා. එයාගෙ ඇටකටු එහෙමත් හොඳින් හැදිලා. ඔයාලා දන්නව ද මේ ඇටකටුවල ගොඩක් ම තියෙන්නේ කැල්සියම්. ඉතින් බබා ඉපදෙනකොට ඇටකටු ශක්තිමත් ව හැදිලා තියෙන්න නම් එයාට හොඳින් කැල්සියම් ලැබෙන්න ඕන.“හොඳයි කියන්න බලන්න බබාට කැල්සියම් හම්බවෙන්නෙ කොහෙන් ද කියලා?”“ටීචර් මම නං හිතන්නේ අම්මගේ ලේවල ඉඳලා අර පෙකණිවැල දිගේ යනවා ඇති.”“හරියට ම හරි.ඒ කියන්නේ බබාට ඇති වෙන්න කැල්සියම් ලැබෙන්න නම් අම්මගේ ඇඟේ හොඳින් කැල්සියම් තියෙන්න ඕන. අන්න ඒ නිසයි අපි බබාල ලැබෙන්න ඉන්න අම්මලාට කැල්සියම් පෙති දෙන්නේ.දැන් බබා සෙන්ටිමීටර් 26ක් 27ක් දිගයි වගේම ග්‍රෑම් 450ක් විතර බරයි.ආ තව දෙයක්. මේ වෙනකොට අපිට පුළුවන් බබා ව ස්කෑන් පරීක්ෂණයක් කරලා එයා නංගියෙක් ද මල්ලියෙක් ද කියලා කියන්න.ඔන්න ඔහොම ගිහින් බබාට සති විසි අටක් වගේ වෙනවා. ගොඩක් බබාලගෙ ඔලුව මේ වෙනකොට යට පැත්තට හැරිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔලුව යට පැත්තට. පස්ස පැත්ත උඩ පැත්තට.එහෙම ඉන්නකොට එයාට ඉපදෙන්න ලේසියි..“ඉතිං කොහොම ද ටීචර් එයා ඉපදෙන්නෙ? බඩ කපලා නේ ද එයාව ඉස්පිරිතාලෙ දි එළියට ගන්නේ?”“ආ.. ඒක මම වෙන දවසක කියලා දෙන්නං. ඒක ඉගෙන ගන්න ඔයාලා බබා ලොකු වෙන හැටි වගේම ඒ කාලෙ අම්මගෙ ඇඟේ වෙන වෙනස්කම් ගැන ටිකක් ඉගෙන ගන්නත් ඕනෙ.ඔන්න දැන් එයාගෙ ඇස් ඇහි බැම එහෙමත් හැදිලා. ඒ වගේම කොණ්ඩෙත් වැවිලා. දැන් එයා ගොඩක් දුරට අපි දකින අලුත ඉපදුණු බබෙක්ට සමානයි. මේ වෙනකොට එයා කිලෝ එකක් විතර බරයි. සෙන්ටිමීටර තිස් පහක් තිස් හතක් විතර දිගයි.සති තිස් දෙකක් වෙනකොට එයාගෙ හම රෝස පාටයි. දැන් එයාගෙ දිග සෙන්ටිමීටර් හතළිස් දෙකක් වගේ. ගොඩක් වෙලාවට මේ වෙනකොට එයා එයාගෙ උපරිම දිගට ඇවිත්. බර ග්‍රෑම් එක් දාස් හත් සීයක් විතර.ඔන්න දැන් බබාට සති තිස් හතක් වෙනවා. දැන් එයා අම්මගේ බඩ ඇතුළේ ඒකියන්නේ ගර්භාශය ඇතුළේ ඉන්න ඕන කාලය සම්පූර්ණ කරලා ඉපදෙන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ දැන් එයා මේ ලෝකෙට ආවොත් එයාට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.එයාගෙ දිග සෙන්ටිමීටර් හතළිස් අටක් වගේ, බර කිලෝ තුනකට කිට්ටුයි. ඉදිරි සති දෙක තුන ඇතුළත දවසක එයා මේ ලෝකෙට එනවා.හැබැයි ඔයාලා දන්නව ද? බබා මෙහෙම ටික ටික ලොකු වෙනකොට අම්මගේ බඩ ඇතුළේ තියෙන ඉඩෙන් ලොකු ඉඩක් යන්නේ ගර්භාශයට. ඉතින් බඩවැල්, අක්මාව, ආමාශය, වකුගඩු වගේ අනික් අවයවවලට ඉඩ මදි වෙන නිසා ඒවා ටිකක් තෙරපිලයි තියෙන්නේ. ඉතින් ඒක අම්මට හරි අමාරුයි. ඉතිං ඒ කාලෙ එයාට ඇවිදින්න, මහන්සි වෙන්න විතරක් නෙවෙයි කන්න බොන්න වුණත් අමාරුයි.ඇඟේ වතුර වැඩි නිසාත් ගර්භාශය නිසා කකුල්වල ඉඳලා ලේ උඩට එන එක අවහිර වෙන නිසාත් කකුල් ඉදිමෙන්න පුළුවන්.ඒ වගේම තමයි… ගර්භාශය නිසා පෙනහලුවලට නිදහසේ දිග ඇරෙන්න අමාරුයි. ඒ නිසා හුස්ම ගන්න වෙන්නෙත් හරි ම අමාරුවෙන්.ඒ නිසා හොඳින් මතක තියාගන්න. කොහේදි හරි දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දැක්කොත් අපි එයාව පෝලිම් වල තියන්නේ නැතුව, පොදු ප්‍රවාහන සේවයේ හිටගෙන යන්න දෙන්නේ නැතුව එයාට උදව් කරන්න ඕන. තේරුණාද ?ඔව් ටීචර්..හරි අද මම මෙතනින් පාඩම නවත්තනවා. ඇයි දන්නවා ද? මගේ යාලුවෙක්ට බබෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් මම එයාව රෑ කෑමකට එක්ක යනවා. අපි ඊලඟ දවසේ ටිකක් වෙනස් දෙයක් තමයි කතා කරන්නේ.එහෙනං ඔයාලා ගෙවල් වලට යන්න. වෛද්‍ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)