Home Science News රයිස්ගේ තල්මහ ගහනය වඳ වී යෑම වළක්වන්නැයි ඉල්ලීම්

රයිස්ගේ තල්මහ ගහනය වඳ වී යෑම වළක්වන්නැයි ඉල්ලීම්

by Sathya

Balaenoptera ricei නමින් නවතම තල්මහ විශේෂයක් ලෙස පසුගිය 2021 වසරේ ජනවාරියේ දී හඳුනාගත් රයිස්ගේ තල්මහ (Rice’s whale) වඳ වී යාමෙන් බේරා ගැනීමට වහා පියවර ගන්නැයි ඉල්ලමින් බයිඩන් පාලනය වෙත විවෘත ලිපියක් යොමු වී තිබෙනවා.

ජාත්‍යන්තර තල්මහ විශේෂඥයින් 101 දෙනෙකු විසින් අත්සන් තබන ලද මෙම ලිපිය පසුගිය ඔක්තෝබර් 13 වෙනි දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙක්සිකෝ බොක්කේ ඊසානදිග පෙදෙසට පමණක් ආවේණික වන මෙම තල්මහ විශේෂය එක්සත් ජනපදයට අයත් මුහුදු ප්‍රදේශයේ වෙසෙන එක ම ආවේණික තල්මහ විශේෂය ද වෙනවා. ඩේල් රයිස් නම් තල්මහ විශේෂඥයා විසින් මුලින් ම වාර්තා කළ රයිස්ගේ තල්මහ අඩි 40ක් එනම් මීටර් 12ක සාමාන්‍ය දිගක් ඇති අතර සියලු තල්මහ විශේෂ වලින් වඩාත් ම සංකීර්ණ ශබ්ද උපදවීමේ හැකියාව සහිතයි.

ඩයිනමයිට් රාත්තලක් පිපිරවීමෙන් නැගෙන හඬට වඩා ප්‍රබල ඩෙසිබෙල් 250ක ශබ්දයක් උපදවීමට මෙම තල්මහ විශේෂය සමත් වෙනවා. ඉහත විවෘත ලිපියේ දැක්වෙන පරිදි මෙක්සිකෝ බොක්කේ දැනට ඉතිරි ව සිටින රයිස්ගේ තල්මහ සත්ත්වයින් ගණන 51ක් පමණයි. 2022 වසරේ IUCN රතු දත්ත ලැයිස්තුවේ මෙම තල්මහ විශේෂය දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස දැක්වෙනවා. ලොව වෙසෙන සියලු තල්මහ විශේෂ අතුරින් වඳ වී යාමේ අනතුරට වැඩියෙන් ම ලක් ව තිබෙන තල්මහ විශේෂය වන්නේ මෙයයි.

මෙක්සිකෝ බොක්කට ඛනිජ තෙල් මෙට්‍රික් ටොන් 377,000ක් එකතු කරමින් 2010 වසරේ දී සිදු වූ මිනිස් ඉතිහාසයේ විශාලතම සමුද්‍ර ඛනිජ තෙල් කාන්දුව වන Deepwater Horizon අනතුරෙන් රයිස්ගේ තල්මහ ගහනයෙන් 20%ක් ම විනාශ වී ඇති බව පර්යේෂකයන් විසින් තක්සේරු කර තිබෙනවා.

ඉතිරි ව ඇති මෙම තල්මහ සත්ත්වයන්ගේ පුංචි ගහනයට තිබෙන විශාල ම තර්ජනයන් අතර ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු කර්මාන්තය, අධික මුහුදු යාත්‍රා ගමනාගමනය මෙන් ම නීතිවිරෝධී ධීවර ආම්පන්න ද හේතු වෙනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications