NASA ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ඉහළ යන සාගර ජල මට්ටම නිසා එක්සත් ජනපදයේ වෙරළාසන්න නගර මුහුදු ජලයෙන් යටවනු ඇතැයි අනාවරණය කෙරෙනවා.
ඉහත අධ්‍යයනයේ දී දශක තුනක පමණ කාලයක් තුළ ලබාගත් චන්ද්‍රිකා නිරීක්ෂණ විශ්ලේෂණය කිරීමෙන් 2050 වසර වන විට එක්සත් ජනපදයට සමීප සමුද්‍ර තීරයේ මුහුදු ජල මට්ටම් දැනට පවතින ප්‍රමාණයට වඩා සෙන්ටි මීටර් 30කින් (අඟල් 12කින්) ඉහළ යා හැකි බව පෙන්වා දෙනවා.
පසුගිය ඔක්තෝබර් මස 6 වෙනි දින Communications Earth & Environment ජර්නලයේ පළ කරන ලද වාර්තාවකට අනුව වැඩි ම බලපෑමක් ඇති විය හැකි එක්සත් ජනපදයේ ගල්ෆ් වෙරළ සහ ගිනිකොණ පෙදෙස නුදුරු අනාගතයේ දී ම කුණාටු සහ උදම් ප්‍රවාහ මගින් යටවීමේ තර්ජනය වැඩි වනු ඇතැයි සඳහන් කර තිබෙනවා.
NASA ආයතනය, NOAA ආයතනය සහ USGS ආයතනය ඇතුළු එක්සත් ජනපදයේ පර්යේෂණ ආයතන කීපයක් එක්ව පිළියෙළ කරනු ලැබූ සාගර ජල මට්ටම ඉහළ යාම පිළිබඳ තාක්ෂණික වාර්තාවට අනුව ඉදිරි වසර 30ක කාලය තුළ එක්සත් ජනපද වෙරළ තීරයන්ගේ සාගර ජල මට්ටම් සැලකිය යුතු අයුරින් වැඩි වනු ඇති.
ඒ අනුව එහි නැගෙනහිර වෙරළේ ජල මට්ටම් සෙන්ටි මීටර් 25 සිට 35 කින් (අඟල් 10 සිට 14) ද, ගල්ෆ් වෙරළේ ජල මට්ටම් සෙන්ටිමීටර් 35 සිට 45 කින් (අඟල් 14 සිට 18) ද, බටහිර වෙරළේ ජල මට්ටම් සෙන්ටි මීටර් 10 සිට 20 කින් (අඟල් 4 සිට 8) ද, ඉහළ යනු ඇති බවට අනාවැකි පළ කෙරෙනවා.
මේ අධ්‍යයනයට දායක නොවූ එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ විෂයාන්තර කාලගුණ විද්‍යාඥයෙකු වන ජොනතන් ඕවර්පෙක් සඳහන් කරන්නේ NASA ආයතනයේ සොයාගැනීම පැහැදිලි සත්‍යයක් බවත්, එය පුදුම සහගත නො වන්නේ සාගර ජල මට්ටම් වැඩි වීමට හේතු අප දන්නා නිසාත් බවයි.
මේ අධ්‍යයනයට සහභාගි නොවූ තවත් විද්‍යාඥයෙකු වන නිව් යෝර්ක් සරසවියේ කාලගුණ විද්‍යාඥ හා ගණිතය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් හොලන්ඩ් චන්ද්‍රිකා දත්තවල විශිෂ්ඨ බව නිසා ම ඒවා විශ්වාසනීය බව සඳහන් කරනවා.
අභ්‍යවකාශයේ සිට සාගර ජල මට්ටම්වල උස මනිනු ලබන Sentinel – 6 Michael Freilich චන්ද්‍රිකාවේ දත්තයන් ද මේ අධ්‍යයනයට යොදාගෙන තිබෙනවා.
Live Science ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි