එක්සත්රාජධානිය පළමු වරට ස්වකීය භූමියේ සිට නැනෝ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරන්නට තැනූ ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා. ඒ දෙදහසකට අධික ප්‍රේක්ශක ජනකායකගේ සෝ සුසුම් මධ්‍යයේයි.
රොකට්ටුව දියත් වූයේ කෝර්න්වෝල්හි නිව්කේ නගරයේ, Spaceport Cornwall අංගණයේ සිට ගුවන්ගත වූ Cosmic Girl ලෙස හැඳින්වෙන බෝයිං 747 ගුවන්යානයේ සිටයි. මෙම ගුවන් යානය virgin orbit සමාගමට අයත් වූවක්. ගුවන්යානය අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කරමින් සිටිය දී එහි රැගෙන ගිය LauncherOne රොකට්ටුව මුදාහැරුණු අතර මුල් අදියරේ දී නිවැරැදි ලෙස ඉහළට ඇදී යන බව නිරීක්ෂණය වුණා. නමුත් එහි යම් “අක්‍රමිකතාවක්” ඇති බව දැනගන්නට ලැබුණේ ඉන් අනතුරුවයි. රොකට්ටුව රැගෙන ගිය Cosmic Girl ගුවන් යානය නිරුපද්‍රිතව ආපසු Spaceport Cornwall වෙත ගොඩ බස්වනු ලැබුණා.
අභ්‍යවකාශ ඒජන්සියේ දියත් කිරීම් අධ්‍යක්ෂ මැට් ආචර් ප්‍රකාශ කළේ මේ තත්ත්වය උද්ගත ව ඇත්තේ රොකට්ටුවේ ඉහළ කොටසේ බවයි. “නියමිත කක්ෂයට ළඟා වීමට හැකියාව නො ලැබුණේ රොකට්ටුවේ දෙ වැනි අදියරෙහි එන්ජිමේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන්.” යැයි ඔහු සඳහන් කළා.
මේ මෙහෙයුම එක්සත් රාජධානියේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ තුළ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නට නියමිත ව තිබුණා. ඒ ස්වකීය භූමියෙහි සිට ම අභ්‍යවකාශ යානා ගුවන්ගත කළ හැකි කර්තව්‍යයකට ද මුල පුරමින්. එක්සත් රාජධානි අභ්‍යවකාශ ඒජන්සියේ නියෝජ්‍ය විධායක නිලධාරී ඉයන් ඇනට් සඳහන් කළේ මේ සිදු වීම යමක් කක්ෂගත කිරීමේ ක්‍රියාන්විතය කෙතරම් අපහසු දෙයක් දැයි පෙන්වා දෙන බවයි. මෙවැනි වැරදීම් මගින් උගනිමින්, ඉදිරි වසර තුළ තවත් දියත් කිරීම් සිදු වනු ඇති බව ද ඔහු පැවසුවා.
අභ්‍යවකාශයේ දී කක්ෂගත කිරීම සඳහා රැගෙන ගිය චන්ද්‍රිකා කිහිපය ද මේ සිදු වීම නිසා අත් හැර දමන්නට සිදුවනවා. ඒවායේ හිමිකරුවන් රක්ෂණය කර ඇති බැවින් ඔවුන් හට මූල්‍යමය අගතියක් සිදු නො වනු ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
අකර්මණ්‍ය වූ LauncherOne රොකට්ටුව නිසා ජීවිත හෝ දේපළ හානි සිදු වීමට කිසිඳු ඉඩකඩක් නොමැති බව මැට් ආචර් සඳහන් කරනවා. ඔහු පවසන්නේ එය අත්ලාන්තික් සාගරය වෙත ඇද වැටෙනු ඇති බවයි.
සිදු වූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි.
BBC පුවත් ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි