ජපාන වෙරළට ඔබ්බෙන් මුහුදේ කිමිදීමට ගිය කිමිදුම්කරුවන් දෙදෙනෙකුට යෝධ දැල්ලෙකු ඉතා සමීප ව නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමි වී තිබෙනවා. ඉකුත් 6 වෙනිදා මේ අත්දැකීමට මුහුණ දුන්නේ ජපාන ජාතික යොසුකේ ටනාකා සහ ඔහුගේ බිරිය වන මිකීයි. ඒ Toyooka City නගරයට ඔබ්බෙන් පිහිටි මුහුදු සීමාවේ දී යි. ඔවුන් මේ දුර්ලභ අවස්ථාව වීඩියෝගත කරන්නට ද අමතක කර තිබුණේ නැහැ.
“අපි එකට පිහිනමින් ඡායාරූප ගත්තා. දැල්ලා ඉතා ම සමීපයෙන් දැකගන්න ලැබීම ගැන මම සතුටෙන් පසුවුණත්, උගේ විශාලත්වය නිසා ම මට බයකුත් දැනෙන්න වුණා…” එසේ පවසන්නේ මිකී.
මේ යෝධ දැල්ලාගේ ග්‍රාහිකාවන් නො සලකා හැරි විට මීටර 2.5 ක පමණ දිගකින් යුතු වූ බවයි මිකී සහ ටනාකා පවසන්නේ. ජපානයේ ජාතික විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂකයෙකු වශයෙන් කටයුතු කරන Kubodera Tsunemi පැවසුවේ ශරීර ප්‍රමාණය සලකා බලන විට මේ දැල්ලා අවුරුද්දක් හෝ දෙකක් වයසැති බවයි. ඔවුන්ගේ සාමාන්‍ය ආයුකාලය සමග සසඳා බලන විට ඌ වැඩුණු වියේ පසුවන යෝධ දැල්ලෙකු ලෙස අනුමාන කළ හැකියි.
Giant squid හෙවත් යෝධ දැල්ලා 𝐴𝑟𝑐ℎ𝑖𝑡𝑒𝑢𝑡ℎ𝑖𝑠 𝑑𝑢𝑥 යන විද්‍යාත්මක නාමකරණයෙන් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් පිරිමි සතෙකු මීටර 12 -13 දක්වාත් ගැහැනු සතෙකු මීටර 10 දක්වාත් වැඩෙනවා. යෝධ දැල්ලන් අතරත් විවිධ විශේෂ සිටිය හැකි බවට තර්ක පැවැතියත් DNA යොදාගෙන කළ පර්යේෂණ මඟින් හෙළි වන්නේ සාගරයේ සිටින්නේ එක ම යෝධ දැල්ලන් විශේෂයක් පමණක් බවයි.
Tsunemi පවසන ආකාරයට වසරකට කිහිප වතාවක් ම යෝධ දැල්ලන්ගේ දිස්වීම් වාර්තා වනවා. නමුත් උන් පිහිනමින් සිටින දර්ශන වාර්තා වීම අඩු බවයි ඔහු සඳහන් කරන්නේ. ඉදිරියේ ද කිමිදුම්කරුවන් සමග මෙවැනි සමීප මුණගැසීම් වැඩි වශයෙන් සිදු වුවහොත් එය යෝධ දැල්ලන් පිළිබඳ වඩාත් පුළුල් අධ්‍යයනයකට මඟ පාදනු ඇති බව ඔහු විශ්වාස කරනවා.
NHK සහ The Independent ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි