වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින උතුරු අත්ලාන්තික් තල්මහ (North Atlantic whale) හෙවත් 𝑬𝒖𝒃𝒂𝒍𝒂𝒆𝒏𝒂 𝒈𝒍𝒂𝒄𝒊𝒂𝒍𝒊𝒔 සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් ව්‍යාපාර දෙකක් ප්‍රතික්ෂේප කරීමට ඇමරිකා එක්සත් ජනපද රජය තීරණය කර තිබෙනවා.
මෙයින් එක් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුව පිහිටුවාගත් රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක ම සහයෝගීතාවයෙන්. ඒ අතර Center for Biological Diversity, Conservation Law Foundation, Defenders of Wildlife සහ Whale and Dolphin Conservation (WDC) නමැති රාජ්‍ය නො වන සංවිධාන ද වුණා. අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ Oceana නම් වූ තවත් රාජ්‍ය නො වන සංවිධානයක් මඟින්. ඔවුන්ගේ ඉල්ලීම වුණේ උතුරු අත්ලාන්තික් තල්මහ වෙනුවෙන් ඇමරිකානු රජය මඟින් බල ගැන්වෙන හදිසි ආරක්ෂණ වැඩපිළිවෙළක් දියත් කරීමයි.
මේ වන විට ඉතිරි වී සිටිතැයි සැලකෙන්නේ උතුරු අත්ලාන්තික් තල්මහ 340ක් පමණයි. ඔවුන් ද සීඝ්‍ර වඳවීමේ තර්ජනයකට ලක් ව සිටිනවා. ඒ අත්ලාන්තික් මුහුද හරහා ගමන් ගන්නා නෞකාවල ගැටීම හේතුවෙන්.
පැටවුන් බිහිකරන සමය තුළ දී තල්මහෙකු නිරීක්ෂණය වුවහොත් උතුරු කැරොලිනාවත්, ෆ්ලොරීඩාවත් අතර ගමන් ගන්නා අඩි 35 හෝ ඊට විශාල දිගකින් යුතු නෞකාවල වේගය අඩු කළ යුතු බවට යෝජිත නීති මාලාවක් ද එහි අඩංගු කර තිබුණා.
දැනටමත් මේ සාගර කලාප තුළ යාත්‍රා කෙරෙන නෞකා සඳහා ධාවනය කළ යුතු නියමිත වේග සීමාවක් පණවා තිබෙනවා. නමුත් විශේෂඥයන් සඳහන් කරන්නේ එය අදාළ තල්මහ විශේෂයේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ප්‍රමාණවත් නො වන බවයි. විශේෂයෙන් ම දේශගුණික විපර්යාසයන් සමග ඔවුන්ගේ ද ගමන් මඟ වෙනස් වීම ඊට හේතු වනවා. එසේ ම නෞකා සඳහා පණවා තිබෙන මේ වන විටත් ක්‍රියාත්මක නීති රෙගුලාසි ද ප්‍රමාණවත් වන්නේ නැහැ. දැනට වේගය පාලනය කළ යුතු බවට සඳහන් වන්නේ අඩි 65 ඉක්මවන දිගකින් යුතු යාත්‍රා සඳහා පමණයි. ඒ ද තල්මසුන් තිදෙනෙකු නිරීක්ෂණය වූ විටෙක දී පමණයි.
Mongabay ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි