ජේම්ස් වෙබ් යුරේනස්ගේ අසිරිය දකියි

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් ලබාගැනුණු යුරේනස් ග්‍රහයා දැක්වෙන අලුත් ම ඡායාරූපයක් පසුගිය දා මහජනයා වෙත මුදා හැරුණා. ඉන් යුරේනස් ග්‍රහයාට අයත් වළලු පද්ධතිය, එහි වායුගෝලය සහ එය වටා කරකැවෙන දීප්තිමත් ම උපග්‍රහයින් ද පැහැදිලි ව නිරීක්ෂණය කළ හැකියි. මෙම ඡායාරූපය ලබාටගෙන තිබෙන්නේ පසුගිය පෙබරවාරි මස 06 වැනි දිනයි. ඊට සුළු කලකට පෙර තවත් අයිස් යෝධයෙකු වූ නෙප්චූන් ජේම්ස් වෙබ්ගේ ඇසට හසු වී තිබුණා.

මේ නව ඡායා‍රූපයේ යුරේනස් සතු යැයි දැනට සැලකෙන වළලු 13 අතුරින් 11ක් ම දැකගත හැකියි. ඉන් ඇතැම් ඒවා ඉතා ම දීප්තිමත් ලෙස දිස් වනවා. ජේම්ස් වෙබ් සතු ව ඇති NIRCam නමැති අධෝරක්ත කැමරාව යුරේනස්ට සමීපයෙන් ම ඇති අ්‍යන්තර වළලු යුග්මය ම හසුකර ගන්නට තරම් සංවේදී විම ගැන තාරකා විද්‍යාඥයන් ද විමතියෙන් පසු වන බව සඳහන්. මෙකී වළලු යුග්මය දැකගැනීම අතිශය අපහසු කටයුත්තක්. මේ තාක් දුරට ඒවා කැමරාවට හසු කරගෙන තිබුණේ මෙහෙයුම් දෙකකින් පමණයි. ඉන් එකක් යුරේනස් පසු කර ගිය වොයේජර් 2 යානයයි. අනෙක හවායිහි මවුන්ට් කියා කඳු මුදුන මත ස්ථාපනය කර ඇති කෙක් නිරීක්ෂණාගාරයයි.

1986 දී ආසන්නයෙන් පියාසර කළ වොයේජර් 2 යානය යුරේනස් දුටුවේ වැඩිදුර ලාක්ෂණික නො පෙන්වන නිල්පැහැ පළිඟුවක් ලෙසයි. වෙබ්ගේ නව ඡායාරූපය එය වඩාත් සුපැහැදිලි, ගතික, එසේ ම වෙනස් වන සුළු ලොවක් ලෙස නිරූපණය කරනවා.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

අභ්‍යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි