නිදිමතේ රිය පැදවීම බීමත් ව රිය පැදවීමට සමානයි – අධ්‍යයනයක් පෙන්වාදෙයි

පෙර දා රාත්‍රියේ දී පැය පහකට වඩා අඩු නින්දක් ලබා රිය පැදවීමෙන් රිය අනතුරකට මුහුණ දීමේ සම්භාවිතාවය බීමත් ව රිය පැදවීමෙන් රිය අනතුරකට මුහුණ දීමේ සම්භාවිතාවයට සමාන බව අධ්‍යයනයක් පෙන්වා දී තිබෙනවා. Nature and Science of Sleep ජර්නලයෙහි පළ ව ඇති මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඔ්ස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසිනුයි. ඔවුන් මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ මේ පිළිබඳව කෙරුණු තවත් අධ්‍යයන 61ක දත්ත විශ්ලේෂණය කිරීමෙනුයි. එමෙන් ම පැය බිංදුවත් පැය හතරත් අතර නින්දක් සහිතව රිය ධාවනයේ යෙදීම රිය අනතුරකට මුහුණ දීමේ සම්භාවිතාවය 15 ගුණයකින් පමණ ඉහළ නංවන බව ද අධ්‍යයනය පෙන්වා දී තිබෙනවා.


බීමත්ව රිය පදවන්නන් හඳුනාගැනීමට ප්‍රාශ්වාස වාතය පරීක්ෂා කිරීම, රුධිරය පරීක්ෂා කිරීම වැනි පරීක්ෂණ ක්‍රමවේද පැවතුනත් රියදුරාගේ නිදිමත ‌කොපමණදැයි හඳුනාගැනීමට පරීක්ෂණ ක්‍රමවේද තවමත් නිර්මාණය වී නැහැ. එනිසා ප්‍රමාණවත් නින්දක් ‌නොලබා රිය ධාවනය සම්බන්ධයෙන් නීති සම්පාදනය වීම ඇත්තේ පසුගාමී තත්ත්වයකයි. කෙසේවෙතත් එහි අවදානම බීමත්ව රිය පැදවීමට සමාන බැවින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩි වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවට පර්යේෂකයන් පෙන්වා දෙනවා. රිය පැදවීම ආරම්භ කිරීමට පෙර ගත වූ පැය 24 තුළ පැය 5කවත් නින්දක් ලබා නොමැති නම් රිය පැදවීමෙන් වැළකීම වඩා සුදුසු බවයි ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ.

The Conversation ඇසුරෙනි.

දමිත නිපුණජිත්

Related posts

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

අභ්‍යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි