ඉකුත් සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ග්‍රීන් හෙඩ් ප්‍රදේශයට යාබද වෙරළ තීරයට ගොඩගසා තිබූ තඹ පැහැති ලෝහමය වස්තුව රොකට්ටුවකට අයත් යමක් බවට සැකයක් නැති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති එස්. සෝමනාත් මහතා BBC වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා. නමුත් එය ඉන්දියානු රොකට්ටුවකින් ඇද වැටුණු යමක් ද යන්න නිශ්චිත ව තහවුරු කළ හැක්කේ විශ්ලේෂණයකින් අනතුරුව බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
පසුගිය 15 දා ග්‍රීන් හෙඩ් වෙරළින් මෙය සොයාගැනීමත් සමග උන්මාදයට පත් ප්‍රදේශවාසීන් ඒ් අසලට පැමිණ ඡායාරූප ගැනීමට යුහුසුළු වී තිබුණත් පොලීසියේ මැදිහත් වීමත් සමග ඒ් අවට වටප්‍රමාණය කිසිවෙකුට ඇතුළු විය නො හැකි සේ ආවරණය කරන්නට පියවර ගැනුණා. ඒ එය කුමක් ද, ඉන් යම් හානියක් සිදු වේ ද යන්න ප්‍රහේළිකාවක් ව පැවති බැවින්. ඇතැම් පුද්ගලයන් මෙය 2014 වසරේ දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානයේ කොටසක් විය හැකි බවට ද මත පළ කර තිබුණා. කෙසේ නමුත් අනතුරුව එය වාණිඩ්‍යමය ගුවන් යානයකට අයත් කොටසක් නො වන බවත් ඉන්දියානු සාගරයට ඉහළින් ඇදී ගිය රොකට්ටුවක තෙවන අදියරේ ඉන්ධන ටැංකියක් බවට මත පළ වුණා. බොහෝ විට එය ISRO විසින් ගුවන්ගත කළ Polar Satellite Launch Vehicle රොකට්ටුවේ කොටසක් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි විද්වත් වූයේ. ආසන්නතම මෙහෙයුම සඳහා එම රොකට්ටුව ගුවන් ගත කෙරුණේ ඉකුත් අප්‍රේල් මාසයේ දී යි.
ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ වස්තුව කිසියම් විදෙස් රොකට්ටුවක කොටසක් ද යන වග තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා ගෝලීය සහයෝගය ලබා දෙන මෙන් ද ඔහු ඉල්ලා සිටියා.
BBC වෙත අදහස් දැක්වූ ISRO ප්‍රධානී සෝමනාත් මහතා සඳහන් කර තිබුණේ මින් පෙර ද PSLV රොකට්ටුවේ කොටස් ඉන්දියන් සාගරයේ ඔ්ස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඔබ්බෙන් තිබිය දී හමු වී ඇති බවයි. කෙසේ නමුත් ඒවායින් හානියක් නො මැති බව ද ඔහු සඳහන් කර සිටියා.
මේ වන විට එම සුන්බුන් කොටස ඉවත් කරගෙන ආරක්ෂිත ස්ථානයක රඳවන්නට ඔ්ස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයේ මූලිකත්වයෙන් ඉන්දියාව ද අත්සන් තබා ඇති අභ්‍යවකාශ ගිවිසුම් ප්‍රකාර ව යම් අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුර පතිත වන අපද්‍රව්‍යවල වගකීම අදාළ ආයතනය විසින් බාරගත යුතු වනවා.
බොහෝ විදෙස් පුවත් ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්