අඩු ම වයස් මට්ටමකින් ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ පුද්ගලයා හඳුනාගන්නට චීනයේ ස්නායුවේදීන් සමත් වී තිබෙනවා. ඔහු 19 වැනි වියේ පසු වන්නෙකු බවයි වාර්තා වන්නේ.
තවමත් ගැටවර වයසක පසු වන ඔහුගේ මතකය ගිලිහී යාම ඇරඹී තිබෙන්නේ වයස අවුරුදු 17 පටන් ම යි. ඉන්පසු මේ දක්වා ම එම තත්ත්වය උත්සන්න වී තිබෙනවා.
රෝගියාගේ මොළයේ ක්‍රයාකාරිත්වය ස්කෑන් කිරීමෙන්, හිපෝකැම්පසයේ මතකයට බලපාන පරිදි සිදු වන හැකිලීමක් නිරීක්ෂණය වී තිබුණා. එසේ ම ඔහුගේ මොළයේ වූ මස්තිෂ්ක සුසුම්නා තරල මට්ටම ද ඩිමෙන්ෂියාවේ වඩාත් ම සුලභ ප්‍රභේදය පිළිබඳ ඉඟි පළකර තිබුණා.
ඇල්සයිමර් රෝගය සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් වෙත වැළඳෙන්නක් බවයි. වයස අවුරුදු 65ට අඩු ඇල්සයිමර් රෝගීන් වාර්තා වී තිබෙන්නේ 10%ක් පමණයි.
වයස අවුරුදු 30ට අඩු ඇල්සයිමර් රෝගීන්ගෙන් බහුතරයකට එය වැළඳී තිබෙන බවට සැලකෙන්නේ ව්‍යාධිමය ජාන විකෘතීන් හේතුවෙන්. එවැනි තත්ත්වයන් කුටුම්භීය ඇල්සයිමර් රෝගය හෙවත් Familial Alzheimer’s Disease (FAD) ලෙස හැඳින්වෙනවා.
චීනයේ බීජිංහි පිහිටි කැපිටල් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් රෝගියා සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනවා. නමුත් මේ වන තුරුත් ඔහුට වැළඳී ඇත්තේ FAD බව තහවුරු කළ හැකි ආකාරයේ ජාන විකෘතියක් සොයාගන්නට ඔවුන් සමත් වී නැහැ.
මින් පෙර අඩු ම වයසකින් ඇල්සයිමර් රෝගයට ගොදුරු වී ඇති බව සොයාගත් රෝගියා 21 වැනි වියේ පසු වෙමින් සිටියා. අධ්‍යයනයන් මඟින් ඔහුගේ ජානවල තිබී මොළයේ ඇති ප්‍රෝටීන අසාමාන්‍ය වර්ධනයක් දක්වා ගෙන යන PSEN1 නමැති විකෘතිය සොයාගෙන තිබෙනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්