Euclid සිය මුල් ම ඡායාරූප කිහිපය එවයි

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ Euclid අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් මුල් ම ඡායාරූප පෙළ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. දිදුළන තාරකා සහ මන්දාකිණි මනා ලෙස හසු කරගත් එම ඡායාරූප අලුත් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඉදිරි කාර්යභාරයට පෙරවදනක් සපයන කසකරුවන් වනු ඇති බවටයි ලොව පුරා තාරකාවිද්‍යා ලෝලීන් බලාපොරොත්තුවෙන් සිටින්නේ.

පසුගිය ජූලි 1 දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් ගමන් ඇරඹූ Euclid සිය ගමනාන්තය වන පෘථිවියත් සඳත් අතර ඇති දුර මෙන් සිව් ගුණයක දුරකින් ඇති කක්ෂය වෙත පිවිසීම සඳහ‌ා පුරා මාසයක කාලයක් ගත කළා. එය ඒ වෙත ගමනේ යෙදෙමින් සිටින අතරවාරයේ ESAහි විද්‍යාඥයන් එය සතු කැමරා යුගලය නිවැරැදි දිශානතීන්ට හැරවීමේ සහ ක්‍රමාංකණය කිරීමේ කටයුතුවලට කාර්යබහුල වුණා.

මේ ඡායාරූප මඟින් පැහැදිලි ව දිස් වන පරිදි කැමරා ද්විත්වය ම බලාපොරොත්තු වූ ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනී යනවා. එම ඡායාරූප අධොරක්ත වර්ණාවලීක්ෂයෙන් සහ දෘශ්‍ය වර්ණවලින් ද ග්‍රහණය කරගන්නට කැමරා පද්ධතිය සමත්කම් දක්වා තිබෙනවා.

මේ මුල් ඡායාරූප කිහිපයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලය දළ වශයෙන් පියවි ඇසෙන් දිස් වන පුරහඳෙන් හතරෙන් එකක වර්ගඵලය සහිත ප්‍රදේශයක් ලෙස සඳහන් කළ හැකියි. එය අතිශය කුඩා වපසරියක් වුවත්, Euclid දුරෙක්ෂය සිය සය අවුරුදු මෙහෙයුමේ දී එය මෙන් 300,000 ගුණයක වපසරියකින් යුතු ප්‍රදේශයක් ආවරණය කිරීමට නියමිතයි. එනම් රාත්‍රී අහසෙන් හතරෙන් තුනක වපසරියක් සිතියම් ගත කිරීමට එයට හැකියාව ලැ‌බෙනු ඇති.

New Scientist ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට