ඉපැරණි ජෙලිෆිෂ් රංචුවක ‍මෘදු පටක සංරක්ෂණය වූ ෆොසිල සොයාගැනේ

ඩයිනෝසරයන්ගේ බිහිවීමටත් වසර මිලියන ගණනකට පෙර වාසය කළ අලුතින් හඳුනාගත් ජෙලිෆිෂ් විශේෂයකගේ මනා ලෙස සංරක්ෂණය වී තිබූ ෆොසිල 170කට අධික ප්‍රමාණයක් කැනඩාවෙන් හමු වී තිබෙනවා. ඔවුන් සතු ව පැවැති මෘදු පටක ධාරක ග්‍ර‍ාහිකා පවා ඉතා හොඳින් සුරැකි ව පවතිනු දක්නට ලැබීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

Burgessomedusa phasmiformis ලෙස විද්‍යාත්මක නාමකරණය කර ඇති මෙම ජෙලිෆිෂ් විශේෂය දැනට හඳුනාගෙන ඇති ආදිතම ජෙලිෆිෂ් විශේෂය ලෙස සැලකෙනවා. ‘ජෙලිෆිෂ්ලා සහ ඔවුන්ගේ නෑ පිරිවර ආදිතම සත්ත්ව කාණ්ඩයන්ගෙන් පරිණාමය වී ඇති බවට උපකල්පනය කෙරුණත් ඔවුන් ඉතිරිකර ගිය සටහන් කැම්බ්‍රියානු ෆොසිල සටහන්වල තිබිය දී සොයාගැනීම අතිශය අපහසු කටයුත්තක් ව පැවතියා.’ එසේ පවසන්නේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ සහ කැනඩාවේ රෝයල් ඔන්ටාරියෝ කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාඥයකු ලෙස කටයුතු කරන Joe Moysiuk. ‘ඔවුන් නිසැක ව ම ඒ යුගයේත් පිහිනමින් සිටි බව මේ සොයාගැනීමෙන් තහවුරු වනවා.’

බහුල වශයෙන් හමු වන ෆොසිලවල දක්නට ඇත්තේ තද අස්ථි කොටස් පමණයි. ඒවා විවිධ තත්ත්ව යටතේ සුරැකි ව පවතින්නට සමත්කම් පානවා. මෘදු පටක ඉතා ඉක්මනින් වියෝජනය වී යන බැවින් බොහෝ ෆොසිල සටහන්වල ඒවා දක්නට ලැබීම විරල මෙන් ම වැදගත් සංසිද්ධියක් වනවා. එවැනි ෆොසිල හමු වන ෆොසිල නිධි හැඳින්වෙන්නේ lagerstätte ලෙසයි. ඉහත සොයාගැනීම සිදු කළ කැනඩාවේ පිහිටි වසර මිලියන 505ක ඉතිහාසයකට උරුමකම් කියන Burgess Shale ද එවැන්නක්. මෘදු පටන මනා ලෙස සංරක්ෂණය වූ කැම්බ්‍රියානු යුගයට අයත් සතුන්ගේ ෆොසිල බහුල වශයෙන් ඒ ආශ්‍රිත ව හමු වනවා.

Cnidaria වංශයට අයත් ජෙලිෆිෂ්ලා තනිකර ම පාහේ ගොඩනැංවී තිබෙන්නේ මෘදු පටකවලින් වීම හේතුවෙන් බොහෝ විට මනා ව සංරක්ෂණය වූ ෆොසිල බලාපොරොත්තු විය නො හැකියි. එනිසා ම මේ සොයාගැනීම සංධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි