Home Science News චීන විද්‍යාඥයෝ මරියානා අගාධයෙන් නව වයිරසයක් සොයා ගනිති

චීන විද්‍යාඥයෝ මරියානා අගාධයෙන් නව වයිරසයක් සොයා ගනිති

by Sathya

මීටර් 11,000 ක් එනම් අඩි 36,000 ක් දක්වා ගැඹුරට විහිදෙන පැසිෆික් සාගරයේ මරියානා අගාධය ඇතුළත මීටර් 8,839 ක් එනම් අඩි 29,199 ක් ගැඹුරින් නවතම වයිරසයක් චීන විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබෙනවා.

බැක්ටීයා භක්ෂක (Bacteriophage) කාණ්ඩයට අයත් මේ වයිරසය බැක්ටීරියාවන්ට ආසාදනය වීමෙන් පසු ව තම පිටපත් බිහි කිරීමේ ප්‍රජනන ක්‍රියාවලිය සිදු කරන්නේ බැක්ටීරියාවේ සෛලීය යාන්ත්‍රණය තම ග්‍රහණයට ගැනීමෙන් අනතුරුවයි.

මෙතෙක් ජලය තුළ ගැඹුරින් ම සොයාගෙන ඇති වයිරසය ලෙස වාර්තා වන මෙය 𝐻𝑎𝑙𝑜𝑚𝑜𝑛𝑎𝑠 𝑚𝑒𝑟𝑖𝑑𝑖𝑎𝑛𝑎 විශේෂයට අයත් බැක්ටීරියාවලට ආසාදනය වන බව මේ සොයාගැනීම පිළිබඳ ව පසුගිය සැප්තැම්බර් 20 වැනි දින Microbiology Spectrum ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවේ දැක්වෙනවා.

vB – HmeY – H4907 ලෙස නම් කර තිබෙන මේ නවතම වයිරසය මෙතෙක් ලොව සාගර වල වඩාත් ම ගැඹුරෙන් වෙන් කරගත් බැක්ටීරියා භක්ෂකය බව ඉහත පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර චීනයේ Qingdaoහි සාගර විශ්වවිද්‍යාලයේ සමුද්‍ර වයිරස විද්‍යාඥ Min Wang සඳහන් කරනවා.

ඉහත 𝐻𝑎𝑙𝑜𝑚𝑜𝑛𝑎𝑠 බැක්ටීරියා ඇන්ටාක්ටික් සාගර පත්ල ඇතුළු ගැඹුරු සාගර ජල තාපන විවර අවට ඇති අවසාදිතයන්හි වෙසෙනවා.

vB – HmeY – H4907 නවතම වයිරසයේ ජාන විශ්ලේෂණයෙන් පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ එය තමන් විසින් ආසාදනය කරනු ලබව බැක්ටීරියා විශේෂය පැතිරී ඇති ප්‍රදේශ තරමට ම ව්‍යාප්තියක් පෙන්වන බවයි.

මෙතරම් ගැඹුරේ වෙසෙන බැක්ටීරියා සහ වයිරස මිනිසාට බෙහෙවින් ම පිටස්තර වන නිසා ම අපේ ප්‍රතිශක්ති පද්ධතියේ සෛලවලට පවා ඔවුන් හඳුනාගත නො හැකි බව විද්‍යාඥයින් සඳහන් කරනවා.

Live Science සහ Microbiology Spectrum ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications