Home Science News ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

by Sathya

ඇලස්කාවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ජීවත් වන නව මුහුදු ස්පොන්ජ් විශේෂ 9ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. ඇමරිකාවේ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) විසින් මෙම සොයාගැනීම නිවේදනය කරන ලද අතර, මෙම සත්ත්වයින් ඇලස්කා බොක්ක සහ ඇලූෂියන් දූපත් ආශ්‍රිත ව සොයාගෙන තිබෙනවා. මෙම නව සොයාගැනීමත් සමඟ ඇලස්කාව ආශ්‍රිත ව හඳුනාගෙන ඇති මුළු ස්පොන්ජ් විශේෂ සංඛ්‍යාව 232 දක්වා ඉහළ යනවා.

වසර මිලියන 600කට වඩා පැරැණි ඉතිහාසයක් ඇති මුහුදු ස්පොන්ජ් යනු පෘථිවියේ පැරණිතම බහු සෛලික සත්ත්වයින්ගෙන් කොටසක් වනවා. මොවුන්ට මොළයක් හෝ සංකීර්ණ අවයව නොමැති වුව ද, මුහුදු ජලය පෙරීම සහ මුහුදු පතුලේ අනෙකුත් ජීවීන්ට වාසස්ථාන නිර්මාණය කිරීම සඳහා මොවුන්ගෙන් ලැබෙන්නේ සුවිශාල දායකත්වයක්.

“ස්පොන්ජ් යනු පාරිසරික වශයෙන් ඉතා වැදගත් ජීවී කොට්ඨාශයක්. වනාන්තරයක ඇති ගස් මෙන් ඔවුන් මුහුදු පතුලේ වාණිජමය වශයෙන් වැදගත් මත්ස්‍යයින්ට සහ කකුළුවන්ට රැකවරණය සපයනවා,” යනුවෙන් NOAA හි ධීවර ජීව විද්‍යාඥ ෂෝන් රූනි ප්‍රකාශ කරනවා. තව ද, ස්පොන්ජ් විසින් නිපදවන ඇතැම් රසායනික ද්‍රව්‍ය පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගැනීමේ විභවයක් පවතින බව ද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මෙසේ අතිශය පාරිසරික වැදගත්කමක් පැවතිය ද, ඇලස්කාවේ ගැඹුරු මුහුදේ ස්පොන්ජ් ප්‍රජාවන් මේ වන විට දැඩි තර්ජනයකට මුහුණ දී සිටිනවා. ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කර ඇති ගැඹුරු මුහුදේ පතල් කැණීම් ව්‍යාප්ත කිරීමේ සැලසුම් සහ මුහුදු පතුල සීරී යන අයුරින් මසුන් ඇල්ලීම (bottom trawling) මීට ප්‍රධාන හේතු වනවා.

පරිසර සංවිධාන මෙම යෝජනාවලට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, දේශගුණික අර්බුදය උග්‍ර වෙමින් පවතින මොහොතක මෙවැනි ක්‍රියාකාරකම් මඟින් මුහුදු පතුලේ ඇති සංවේදී පරිසර පද්ධති විනාශ විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. ඇමරිකාවේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ ඇලස්කා අධ්‍යක්ෂ කූපර් ෆ්‍රීමන් පවසන්නේ, කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් පමණක් සිදුකරන මෙවැනි විනාශකාරී සමුද්‍රීය ක්‍රියාකාරකම් මගින් සාගරයේ අනාගත පරම්පරාවන්ට රැකවරණය සපයන ස්වාභාවික වාසස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවයි.

මෙම සොයාගැනීම මඟින් සාගරයේ අප තවමත් නො දන්නා අපූරු ජෛව විවිධත්වය පිළිබඳව ලොවට හෙළි කර ඇති අතර, එම වටිනා පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමේ දැඩි අවශ්‍යතාවය ද නැවත වරක් අවධාරණය වනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications