Home Science News කැලිෆෝනියාවෙන් වසර 10,000ක් පැරණි මැස්ටඩොන් දතක් සොයාගැනේ

කැලිෆෝනියාවෙන් වසර 10,000ක් පැරණි මැස්ටඩොන් දතක් සොයාගැනේ

by Sathya

උතුරු ඇමරිකාවේ ජීවත් වූ බවට සැලකෙන, වර්තමානයේදී වඳවී ගොස් ඇති දැවැන්ත ක්ෂීරපායී සතෙකු වන ‘පැසිෆික් මැස්ටඩොන්’ (Pacific mastodon) සතෙකුගේ යැයි සැලකෙන වසර 10,000ක් පමණ පැරණි ෆොසිලභවනය වූ දතක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම අපූරු සොයාගැනීම සිදු වී ඇත්තේ කැලිෆෝනියාවේ සැන් මැටියෝ ප්‍රාන්තයේ රක්ෂිතයක සේවය කරමින් සිටි භූ රූප විද්‍යාඥවරියක වන බ්‍රිජිඩ් ලින්ච් විසින්. ආරම්භයේ දී ඇය මෙය අමුතු හැඩයක් ගත් ගලක් යැයි සිතුව ද, පසු ව එය වැඩුණු පැසිෆික් මැස්ටඩොන් සතෙකුගේ චාර්වක දතක් බව පාෂාණධාතු විද්‍යාඥයින් විසින් තහවුරු කර තිබෙනවා.

“මෙම දත ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතිනවා. මෙය අපගේ ප්‍රදේශයෙන් සොයාගත් සම්පූර්ණම සහ විශිෂ්ටතම මැස්ටඩොන් දතයි,” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාෂාණධාතු විද්‍යාඥ වේන් තොම්සන් පවසනවා.

වර්තමානයේ ජීවත් වන අලි ඇතුන්ට ඥාතිත්වයක් දක්වන මෙම පැසිෆික් මැස්ටඩොන් සතුන්, මීට වසර මිලියන 2.5 කට පමණ පෙර සිට උතුරු ඇමරිකාවේ (විශේෂයෙන් කැලිෆෝනියාව, ඔරිගන්, රොකී කඳුකරය සහ මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවල) ජීවත් වූ ශාකභක්ෂක සතුන් කොට්ඨාශයක්. දේශගුණික විපර්යාස සහ මිනිසුන්ගේ අධික දඩයම් කිරීම් හේතුවෙන් මීට වසර 10,000 කට පමණ පෙර මෙම සතුන් මිහිතලයෙන් මුළුමනින්ම වඳ වී ගොස් ඇති බවට සැලකෙනවා.

සොයාගත් ෆොසිලය මේ වනවිට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත පරිත්‍යාග කර ඇති අතර, එහි පර්යේෂකයන් විසින් කාබන් දින නිර්ණය කිරීමේ ක්‍රියාවලිය හරහා මෙම දතෙහි නිශ්චිත වයස ඉදිරියේ දී තහවුරු කිරීමට නියමිතයි. මෙම සොයාගැනීම හරහා අතීත ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විශ්වාසය පළ කර සිටිනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications