Home Science News NASA සිය ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි

NASA සිය ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි

by Sathya

නාසා (NASA) ආයතනය විසින් අඩි 114ක (මීටර් 34) නව රේඩියෝ සංඛ්‍යාත ඇන්ටෙනාවක් කැලිෆෝනියාවේ ස්ථාපිත කරමින් ඔවුන්ගේ දුරස්ථ අභ්‍යවකාශ සන්නිවේදන ජාලය වන Deep Space Network – DSN තවදුරටත් පුළුල් කර තිබෙනවා. මෙය දිනෙන් දින කාර්යබහුල වන අභ්‍යවකාශ සන්නිවේදන ජාලයේ තදබදය අවම කිරීම සඳහා ගත් කාලෝචිත පියවරක් ලෙසයි හැඳින්වෙන්නේ.

වොයේජර් 1, වොයේජර් 2 සහ නිව් හොරයිසන්ස් වැනි දුරස්ථ අභ්‍යවකාශ යානා ඇතුළු ව, සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් ඔබ්බට ගවේෂණය කරන අභ්‍යවකාශ යානා 40කට අධික සංඛ්‍යාවක් සන්නිවේදන කටයුතු සඳහා මෙම DSN ජාලය භාවිත කරනවා. කෙසේ වෙතත්, 2022 දී දියත් කළ Artemis 1 සහ 2026 දී දියත් කිරීමට නියමිත ගගනගාමීන් සහිත Artemis 2 වැනි චන්ද්‍ර මෙහෙයුම් හේතුවෙන් මෙම ජාලයේ ධාරිතාවය දැඩි අභියෝගයකට ලක් වූ බව නිරීක්ෂණය වුණා.

ගගනගාමීන් සහිත මෙහෙයුම් සඳහා රොබෝ යානාවලට වඩා ප්‍රමුඛතාවය දිය යුතු බැවින්, අනෙකුත් රොබෝ මෙහෙයුම් සේවාවන්ට මෙමගින් යම් බාධාවක් එල්ල වී ඇති බව NASA හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ DSN කළමනාකරු බ්‍රැඩ් ආර්නෝල්ඩ් පෙන්වා දී තිබුණා.

මෙම නව ඇන්ටෙනාව කැලිෆෝනියාවේ Goldstone සංකීර්ණයේ ස්ථාපිත කර ඇති අතර, එය අගෝස්තු 3 වන දින සිට නාසා හි චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය (Chandra X-ray Observatory) ලුහුබැඳීම සඳහා සක්‍රීය කර තිබෙනවා. DSN ජාලය ලොව පුරා ප්‍රධාන මධ්‍යස්ථාන තුනකින් සමන්විත වන අතර ඒවා කැලිෆෝනියාවේ ගෝල්ඩ්ස්ටෝන්, ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටා තිබෙනවා. මෙම සෑම මධ්‍යස්ථානයක ම අඩි 230ක් (මීටර් 70) විශාල ප්‍රධාන ඇන්ටෙනාවක් ඇතුළු ව ඊට කුඩා ඇන්ටෙනා කිහිපයක් ද ක්‍රියාත්මක වනවා.

මෙම නවතම ඇන්ටෙනාව ‘Deep Space Station 23’ (DSS-23) ලෙස හැඳින්වෙන අතර, එය 2009 වසරේ දී ආරම්භ කරන ලද ‘Aperture Enhancement Project’ නම් ඇන්ටෙනා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කළ නව මීටර් 34 ප්‍රමාණයේ ඇන්ටෙනා හයෙන් පස්වැන්නයි. මෙම ව්‍යාපෘතියේ අවසන් ඇන්ටෙනාව 2029 දී ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී සක්‍රීය කිරීමට නියමිත ව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මුලින් සැලසුම් කළ කාලයට වඩා ප්‍රමාද වී ඇති අතර ඒ සඳහා වැය වන මුදල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2015 NASA වාර්තාවකට අනුව මෙහි පිරිවැය ඩොලර් මිලියන 362.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණ ද, 2023 වසර වන විට එම වියදම 68%කින්, එනම් ඩොලර් මිලියන 706ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications