ඇමරිකානු හමුදාව පෘථිවි කක්ෂයේ පමණක් නොව සඳ වටා ද යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශකයෙකු මෙන් ම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා ද වන ජෙනරාල් ඩෑන් කේන් පවසා තිබෙනවා. ඇමරිකාව විසින් ප්‍රථම වතාවට අභ්‍යවකාශයේ ආයුධ යොදවා ඇති බව පසුගිය දා හෙළි කිරීමෙන් අනතුරුව, නව යුද පෙරමුණක් පිළිබඳව ඉඟි කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
වොෂින්ටනයට නුදුරින් පැවති ‘ගුවන්, අභ්‍යවකාශ සහ සයිබර් සම්මන්ත්‍රණයේ දී’ හමුදා නිලධාරීන් සහ කර්මාන්ත ප්‍රධානීන් අමතමින් ජෙනරාල් කේන් පැවසුවේ, “මුහුදු පතුලේ සිට පෘථිවිය සහ සඳ අතර කලාපය (Cislunar space) දක්වා වූ ප්‍රදේශය තුළ සටන් කිරීමට, ඔරොත්තු දීමට සහ ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි” ඇමරිකානු හමුදාව දැන් සිට ම හැඩගැසිය යුතු බවයි.
මෙම සම්මන්ත්‍රණයේ දී ම අදහස් දැක්වූ ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මයින්ක්, ඇමරිකාව විසින් මේ වන විටත් කක්ෂය තුළ අවි ආයුධ ස්ථාපිත කර ඇති බව අනාවරණය කළා. මීට අමතර ව, අභ්‍යවකාශ බලකායේ සටන් බලකා විධානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ග්‍රෙගරි ගනොන් ප්‍රකාශ කළේ, මානවයා තවදුරටත් ගැඹුරු අභ්‍යවකාශය දෙසට ගමන් කරන බැවින් ඇමරිකානු ජාතික අවශ්‍යතා අභ්‍යවකාශයේ දී ද ආරක්ෂා කිරීම අභ්‍යවකාශ බලකායේ (Space Force) ප්‍රධාන රාජකාරිය වී ඇති බවයි. 2019 වසරේදී ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද මෙම අභ්‍යවකාශ බලකායේ සෙබළුන් සංඛ්‍යාව ඉදිරි වසර පහ තුළ 25,000 දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළා.
සතුරන් බවට පත් විය හැකි පිටස්තර රාජ්‍යයන් අභ්‍යවකාශය යුද පිටියක් බවට පත් කිරීමට උත්සාහ කරනු ඇතැ යි බුද්ධි අංශ මඟින් අනතුරු අඟවා ඇති බැවින් ඊට මුහුණ දීමට ඇමරිකාව මෙලෙස සූදානම් වන බව ගනොන් වැඩිදුරටත් පැහැදිලි කළා. විශේෂයෙන් ම චීනය අභ්‍යවකාශය තුළ ක්‍රියාකාරී ව කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නා. චීනය ද 2024 දී අභ්‍යවකාශ අර්බුද කළමනාකරණය සඳහා ස්වකීය මිලිටරි අභ්‍යවකාශ බලකායක් ස්ථාපිත තිබෙනවා.
කෙසේ වෙතත්, අභ්‍යවකාශය සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිත කළ යුතු බවට පවතින ජාත්‍යන්තර සම්මුතීන්ට ඇමරිකානු හමුදා නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයන් දැඩි ව පටහැනි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඇමරිකාව සහ චීනය ද අත්සන් තබා ඇති 1967 පිටත අභ්‍යවකාශ ගිවිසුමට (Outer Space Treaty) අනුව, සඳ ඇතුළු ආකාශ වස්තූන් භාවිත කළ හැක්කේ “සාමකාමී අරමුණු සඳහා පමණක්” බවත්, න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවිය නො හැකි බවත් පැහැදිලිව දක්වා තිබෙනවා.
ඇමරිකාවේ මෙම නව අභ්‍යවකාශ මිලිටරිකරණ පියවර සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුවෝ ජියාකුන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අභ්‍යවකාශයේ ආරක්ෂාව පවත්වා ගැනීම සහ සාමකාමී භාවිතය වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින බවත්, අභ්‍යවකාශය සන්නද්ධ කිරීම සහ එහි අවි තරඟයක් ඇති කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත්. තව ද, අභ්‍යවකාශයේ මිලිටරි සූදානම පුළුල් කිරීම වහාම නවත්වන ලෙස ඔහු ඇමරිකාවෙන් ඉල්ලා සිටියා.
අභ්‍යවකාශයේ ආයුධ යෙදවීම සහ සඳ වටා යුදමය සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළින් මෙම ජාත්‍යන්තර ගිවිසුම් කඩවීමක් සිදුවේද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු ව පවතිනවා.