Home Science News බ්‍රිතාන්‍යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන්

බ්‍රිතාන්‍යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන්

by Sathya

දේශගුණ විපර්යාස සහ නව රෝග තර්ජන හමුවේ ස්වභාවික ජීවී විශේෂවල පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ජාන සංස්කරණය කළ සමනලුන්, ඈෂ් ගස් සඳහා එන්නත් සහ උභයජීවීන් සඳහා විශේෂ ක්ෂුද්‍රජීව ප්‍රතිකාර ඇතුළු නව්‍ය ජෛව තාක්ෂණික ව්‍යාපෘති 14කට බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ පවුම් මිලියන 30ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙන බව වාර්තා වනවා.

මෙම අරමුදල් සපයනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ Advanced Research and Invention Agency (ARIA) නම් ආයතනය මඟින්. ‘Accelerated Adaptation Programme’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන සඳහා සමස්තයෙන් පවුම් මිලියන 54ක් වෙන් කර ඇති අතර, ඉදිරි වසර දෙක තුළ ව්‍යාපෘති 14ක් මුල් අදියරේ ක්‍රියාත්මක කෙරෙනවා.

වැඩසටහනේ අරමුණ වන්නේ දේශගුණ උණුසුම, නව රෝග සහ පාරිසරික වෙනස්කම්වලට මුහුණ දෙන වනජීවී සහ ශාක විශේෂවල අනුවර්තනය වීමේ හැකියාව වේගවත් කිරීමයි. ඒ සඳහා ජාන සංස්කරණය, ජෛව ඉංජිනේරුකරණය සහ ක්ෂුද්‍රජීව තාක්ෂණය වැනි අති නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කිරීමට නියමිතයි.

ව්‍යාපෘති අතරින් වැඩි අවධානයක් දිනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ දුර්ලභ Swallowtail නම් සමනල විශේෂය ජානමය වශයෙන් සංස්කරණය කිරීමේ සැලැස්මයි. දේශගුණික විපර්යාස හේතුවෙන් වෙනස් වන පරිසර තත්ත්වයන්ට එම සමනලුන් වඩා හොඳින් අනුවර්තනය කළ හැකි ද යන්න මෙහි දී විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක් වීමට නියමිතයි.

තවත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ බ්‍රිතාන්‍යයේ මිලියන ගණනක් ශාක විනාශ කර ඇති Ash Dieback නම් දිලීර රෝගයට එරෙහිව ඈෂ් ගස් සඳහා එන්නතක් සංවර්ධනය කිරීමයි. මෙම රෝගය නිසා බ්‍රිතාන්‍යයේ ඈෂ් ගස් සැලකිය යුතු ප්‍රමාණයකින් විනාශ වී ඇති අතර, විද්‍යාඥයන් එයට දිගුකාලීන විසඳුමක් සොයමින් සිටිනවා.

මීට අමතරව, නවතම ව්‍යාපෘතියකින් උභයජීවී සතුන්ගේ සම මත ජීවත්වන බැක්ටීරියා ජානමය වශයෙන් වෙනස් කර, ඔවුන්ට මාරාන්තික දිලීර ආසාදනවලට ප්‍රතිරෝධයක් ලබාදිය හැකි ද යන්න සොයා බැලීමට නියමිතයි. එසේ ම, ඕක් ගස් වේගයෙන් වර්ධනය වන ආකාරයට ජාන සංස්කරණය කිරීම සහ මල් පරාගනය කරන වැදගත් කෘමීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති ද මීට ඇතුළත් වනවා.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන විවාදයට ද ලක් ව තිබෙනවා. සමහර පරිසරවේදීන් පවසන්නේ ජානමය වශයෙන් වෙනස් කළ ජීවීන් ස්වභාවික පරිසරයට මුදා හැරීමෙන් අනපේක්ෂිත පාරිසරික බලපෑම් ඇති විය හැකි බවයි. ඒ නිසා ARIA ආයතනය අවධාරණය කර ඇත්තේ 2030 වසරට පෙර කිසිදු පර්යේෂණාත්මක ජීවියකු වනයට මුදා නො හරින බවත්, සියලු ම ව්‍යාපෘති දැඩි ආචාරධර්ම සහ ආරක්ෂක මාර්ගෝපදේශ යටතේ සිදු කරන බවත්.

මෙම වැඩසටහන මෙතෙක් භාවිත කළ සාම්ප්‍රදායික සංරක්ෂණ ක්‍රමවලට විකල්පයක් නොව, ඒවාට අමතර ව භාවිත කළ හැකි නව විද්‍යාත්මක මෙවලම් සංවර්ධනය කිරීමේ උත්සාහයක් බව ARIA ආයතනය පෙන්වා දෙනවා. සාර්ථක ව්‍යාපෘති සඳහා අමතර පවුම් මිලියන 24ක මුල්‍ය ප්‍රතිපාදන ඉදිරියේ දී ලබාදීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

දේශගුණික විපර්යාසවල වේගය ස්වභාවික පරිණාම ක්‍රියාවලියට වඩා වැඩි වී ඇති බැවින්, විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ අනාගතයේ දී ජෛව තාක්ෂණය වනජීවී සංරක්ෂණයේ ප්‍රධානතම මෙවලම බවට පත්විය හැකි බවයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications